ශ්‍රී ලංකාවේ 10වන පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කමිටු 7ක් පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුව විසින් අනුමත කර තිබෙනවා.
ඒ අදාළ යෝජනාව සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් ඊයේ (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එහි කමිටු 4ක සභාපතිත්වය රජයට සහ 3ක සභාපතිත්වය විපක්ෂයට ලබාගැනීමට එකඟතාව පළවී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ආර්ථික සංවර්ධනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව, සෞඛ්‍ය, මාධ්‍ය සහ කාන්තා බලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව, විද්‍යාව, තාක්ෂණය සහ ඩිජිටල් පරිවර්තනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව සහ පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපතිත්වයන් රජයට පැවරී තිබෙනවා.
මේ අතර යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව, අධ්‍යාපනය, මිනිස්බල සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව සහ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපතිත්වය විපක්ෂයට පැවරීමට අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)