12 June 2025


Colombo Times ධර්මාභිවන්දනා සාර්ථකව අවසන්



පින්බර පොසොන් පොහෝ දිනය වෙනුවෙන් Colombo Times මාධ්‍ය ජාලය රත්ගඟ පුංචි දඹදිව පින්බිමේ සිට ගෙන ආ සජීවී සදහම් නමස්කාරය, 'Colombo Times ධර්මාභිවන්දනා' සාර්ථකව අවසන් වුණා. 

ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පෙරටුකර ගනිමින් ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ සම්බුද්ධ පූජා සමඟින් අද (10) උදෑසන සිට 'Colombo Times ධර්මාභිවන්දනා' පැවැත්වුණා.  

ඒ අනුව අශ්ඨාංග සීලය සමාදන් වීම රත්නපුර රත්ගඟ පුංචි දඹදිව විහාරස්ථානයේ ගරු විහරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී, මුළු දිවයිනටම සාම විනිසුරු, විනය කීර්ති ශ්‍රී ශාසන විභූෂණ සද්ධර්මා වාගීශ්වර, අන්තර් ජාතික මානව හිමිකම් පිළිබඳ කාර්ය සාධක බලකායේ ක්‍රවුන් චාන්සර්, අමරපුර මහා නිකායේ චූලගන්දී පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය දෙවුම්පහළ දේවමිත්ත ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. 

පොසොන් පොහොයේ වැදගත්කම පිළිබඳ විශේෂ ධර්ම සාකච්ඡාව පැවැත්වුණේ තෙල්දෙණියේ අමරඥාණ ස්වාමීන් වහන්සේගේ සහ කුට්ටිගල පාසිකෝ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.

අනතුරුව තපෝවනයේ අරියධීර ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දහවල් ධර්ම දේශනය පැවැත්වුණා. 

එමෙන්ම Colombo Times ධර්මාභිවන්දනා - සම්බුද්ධ පූජාව පිළිගැන්වීම ප්‍රවීණ බෝධි පූජා දේශක රත්ගඟ පුන්‍යජි ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් සිදු වුණා. 

අනතුරුව රත්ගඟ පුංචි දඹදිව විහාරස්ථානයේ සුවිශේෂිත්වය, අතීතය, අනාගතයේදී විහාරස්ථානයෙන් සිදුවන ශාසනික මෙහෙවර සම්බන්ධයෙන් සිදු කරන පුංචි දඹදිව වෙහෙර වරුණාව පැවැත්වුණේ විනයාචාර්ය නාට්‍යානුසාර ධර්ම දේශක රත්නපුරේ සිරිරතන ස්වාමීන් වහන්සේ සමඟයි.

තපෝවනයේ අරියධීර ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් භාවනා වැඩසටහන පැවැත්වුණා. 

'Colombo Times ධර්මාභිවන්දනා' සීලයේ ආනිසංස පිළිබඳ සාකච්ඡාව පැවැත්වුණේ හලියද්දේ දම්මපීති ස්වාමීන් වහන්සේ සමඟයි.

සවස ධර්ම දේශනය ගණේගම විශාඛා මෙහෙණින් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වුණා.  

ඉන් අනතුරුව පින්බර පොසොන් පොහෝ දිනය වෙනුවෙන් Colombo Times මාධ්‍ය ජාලය රත්ගඟ පුංචි දඹදිව පින්බිමේ සිට ගෙන ආ සජීවී සදහම් නමස්කාරය, 'Colombo Times ධර්මාභිවන්දනා' සාර්ථකව අවසන් වුණා. 

(colombotimes.lk)