18 March 2025


අස්වැසුම සහන තවත් වැඩි කරයි



අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

එම සංශෝධනය 2023-07-01 වන දින සිට ක්‍රියාත්මක කළ බවයි වාර්තා වන්නේ.

අංක 2415/66 සහ 2024-12-21 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් මෙම යෝජනා ක්‍රමය අවසාන වරට සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ I වන උපලේඛනයේ අඩංගු සංක්‍රාන්තික සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ හිමිවන කාලය 2025-04-30 දක්වා දීර්ඝ කිරීමට අනුමැතිය හිමිවී ඇති බවයි සඳහන් වන්නේ.

එම යෝජනා ක්‍රමයේ II වන උපලේඛනයේ අඩංගු ආබාධ සහිත තැනැත්තන් සඳහා පිරිනමන මාසික ආධාර මුදල සහ වකුගඩු ආධාර ලබන තැනැත්තන් සඳහා පිරිනමන මාසික ආධාර මුදල රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වා ඉහළ නැංවීමටත් නියමිතයි.

වැඩිහිටි තැනැත්තන් සඳහා පිරිනමන මාසික ආධාර මුදල රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වා ඉහළ නැංවීම සහ එම තීරණය 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීමටද අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව II වන උපලේඛනයේ දැක්වෙන ආධාර ලබන ආබාධ සහිත තැනැත්තන් සඳහා දීමනාව, වකුගඩු රෝගී තැනැත්තන් සඳහා වන දීමනාව සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වන දීමනාව ඉහත යෝජනාවලට යටත්ව ගෙවීම් කාලසීමාව 2025-12-31 දක්වා දීර්ඝ කිරීමට නියමිතයි.

අලුතින් ඉදිරිපත් වී ඇති ආබාධ සහිත තැනැත්තන් සහ වකුගඩු රෝගීන්ගේ අයදුම්පත් උපරිම සීමාවට යටත්ව ඇතුළත් කර ගනිමින් සුදුසුකම් ලබන්නන්ට 2025‑12‑31 දින දක්වා අදාළ දීමනා ගෙවීමටද කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

(colombotimes.lk)