හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න දුරකථනයද විසන්ධි කර සිය නිවස අතහැර ගොස් ඇති බව අල්ලස් කොමිසම විසින් ඊයේ (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබෙනවා.
ප්‍රකාශයක් දෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඔහුට දැනුම්දීම් කර තිබුණද ඔහු විවිධ අසත්‍යය කරුණු ඉදිරිපත් කරමින් දිගින් දිගටම එම ප්‍රකාශ ලබාදීම මගහරිමින් සිටින බවත් එම කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
රටින් බැහැරව සිටින බවට ඔහු ප්‍රකාශ කර තිබෙන බවත් විවිධ අසත්‍ය කරුණු දක්වමින් කොමිසම මගහරිමින් සිටින මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයන් ඉල්ලා තිබෙනවා.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට බලය තිබෙන බවත් එම බලතල උපයෝගී කරගනිමින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී මහේස්ත්‍රත්වරයා අල්ලස් කොමිසමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
නීතිමය ක්‍රියා පටිපාටියට පටහැනි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.
(colombotimes.lk)