09 May 2025


වියළි කාලගුණය හේතුවෙන් දරුවන්ට රෝග වැළඳීමේ අවදානමක්



පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ දරුවන් අතර රෝග පැතිරීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. 

මෙම කාලය තුළ ස්භාවික පාන වර්ග දරුවන්ට ලබා දිය යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළා. 
 
උෂ්ණත්වය වැඩි වීමත් සමඟ හිසරදය, වමනය, නින්ද නොයෑම, වැඩිපුර නිදිමත ගතිය ඇති වීම, අහාර රුචිය අඩුවීම සහ විජලන්යන්ට සහ තාප කම්පන තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බව ඒ මහතා පෙන්වා දෙනවා. 
 
ඒ අනුව වැඩිපුර ජලය පානය කිරීමට ලබා දීම, තැඹිලි වතුර, කුරුම්බා වතුර, දෙහි, දොඩම්,නාරං,දෙළුම් සහ කැඳ වර්ග දරුවන්ට ලබා දීම වැදගත් බවයි දීපාල් පෙරේරා මහතා අවධාරණය කළේ. 
 
එමෙන්ම උෂ්ණත්වය වැඩිවීමත් සමඟ සමේ රෝග ද ඇති වීමේ අවධානමක් පවතින බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. 
 
ඒ හේතුවෙන් දරුවන් දවසට දෙවතාවක් නැවීම, විනාඩි 20ක් පමණ වතුරේ සිටීමට ඉඩ හැරීම,සරල ඇඳුමක් ඇඳීම වැනි කාර්යයන් සිදු කිරීම තුළින් සමේ රෝග වැළඳීම අවම කළ හැකි බව ඔහු ප්‍රකාශ කළා.
(colombotimes.lk)