18 March 2025


ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති පනත අහෝසි කරයි



1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති පනත අහෝසි කිරීම සහ මූල්‍ය වාර්තා කරණ නියාමන කෙටුම්පත සකස් කිරීමේ කටයුතු අවසන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ගිණුම් හා සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය සහ අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසුව නීති කෙටුම්පත් සම්පාදක විසින් මූල්‍ය වාර්තා කරණ නියාමන මූලික පනත් කෙටුම්පත සකස් කරන බවයි වාර්තා වන්නේ.

එම පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු අවසන් කිරීම පිණිස නව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගත යුතු බවට නීති කෙටුම්පත් සම්පාදක විසින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාදීම වෙනුවෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)