05 December 2024


වසර 105කට පසු ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට



ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් වන 'ඔක්ස්ෆර්ඩ්' සරසවියට 105 වසරකට පසුව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බෞද්ධ භික්ෂුවක් සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා තේරී පත්වී තිබෙනවා.

ඒ ලග්ගල ප්‍රදේශය උපත ලැබූ  පූජ්‍ය වඩිගල සමිතරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයද මධ්‍යම පළාතෙන් විශිෂ්ට ලෙස සමත්වෙමින් උන්වහන්සේ ශාස්ත්‍රවේදී උපාධිය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වෙත පිවිස තිබෙනවා.

එහිදී දර්ශනය සම්බන්ධයෙන් ප්‍රථම පන්තියේ ගෞරව උපාධියකින් සමත් වූ වඩිගල සමිතරතන හිමියන් පසුව සිය දර්ශනපති උපාධිය සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර පවතින අන්තර්ජාතික සබඳතාව ඉතිහාසගත කරමින් 1919 වර්ෂයෙන් පසුව ඔක්ස්ෆර්ඩ් සරසවිය වෙත ලාංකික භික්ෂුවකට ශිෂ්‍යත්වයක් ලැබී ඇත්තේ දෙවන වරටයි.

එහි පළමු වාසනාවන්ත භික්ෂුව වුණේ පූජ්‍ය සූරියගොඩ සුමංගල නාහිමියන් වහන්සේයි.

ඉන් පසුව එම අවස්ථාව ලැබීමට පූජ්‍ය වඩිගල සමිතරතන හිමියන් භාග්‍යවන්ත වී තිබෙනවා.

පූජ්‍ය වඩිගල සමිතරතන හිමියන් මේ වනවිට සිය දර්ශනපති උපාධිය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ හෝලි ක්‍රොස් විද්‍යාලයේ ග්ලෝරිසන් විශාරදයෙක් ලෙස බෞද්ධ අධ්‍යයනය පිළිබඳව සිය අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටින බවට වාර්තා වනවා.

(colombotimes.lk)