16 June 2025


Be Happy | පොදු වැසිකිළි භාවිතයේදී මේ ගැන සැළකිලිමත් ද ?



පොදු වැසිකිළියක් කිව්වාම නම් ඉතින් අපේ මතකයට එන්නේ ප්‍රසන්න පිරිසිදු ස්ථානයක් නම් නෙමෙයි නේ. පොදු වැසිකිළියට හිතලාම යන අය නම් හරිම අඩුවෙන් ඉන්නේ. එත් ශරීර කෘත්‍යය කරන්න, මුත්‍රා බරක් නිදහස් කරගන්න අපි හැමෝටම හදිසියේ මේ පොදු වැසිකිළි වුවමනා වෙනවා. බස් නැවතුම්පොළක අයිනේ තියෙන වැසිකිළිය වගේම ආයතනයක තිබෙන හැමෝම පාවිච්චි කරන වැසිකිළියත් අර්ථයෙන් ගත්තාම පොදු වැසිකිළි කොටසකට තමයි අයිති වෙන්නේ. අද Be Happy ඔයාට කියන්න යන්නේ කොහොමද ආරක්ෂිතව පොදු වැසිකිළියක් භාවිතා කරන්නේ කියලා. 

 
1. ඔයාගේ බඩු බිම තියන්න එපා 
 
ඔබේ බෑගය හෝ වෙනත් බඩු බාහිරාදිය කිසිම විටක වැසිකිළි බිම මත තියන්න එපා. බිම තිබෙන ක්ෂුද්‍ර ජීවීන් හා සපත්තුවල තිබෙන විෂබීජ බෑගයේ තැවරී අවසානයේ ඒවා ඔබේ දෑත්වල තැවරෙන්නට පුලුවන්. ඔබේ බෑගය පිරිසිදුව තියා ගැනීමට අවශ්‍යනම් එය ඔබ ළග හෝ බෑග් එල්ලීමට භාවිතා කරන ස්ථානයකම තබන්න. 
 
2. ඉදගන්න කලින් පිරිසිදු කරගන්න 
 
වැසිකිළියේ කොමඩ් එකේ වාඩිවෙන කොටසේ අහිතකර බැක්ටීරියා පිරිලා තියෙනවා. මේ වගේ වෙලාවට ටොයිලට් සීට් එක සැනිටයිසර් වලින් පිරිසිදු කරගන්න පුළුවන්. එහෙම නැතිනම් ටොයිලට් සීට් එකට ටොයිලට් පේපර් හෝ එවැනි කඩදාසියක් එලා ගන්නත් පුළුවන්. හැම වෙලාවේම ප්‍රායෝගික නැතත් පුළුවන් අවස්ථාවට ටොයිලට් එකේ කොමඩ් එකේ වාඩිවෙන කොටස හැකි තරම් පිරිසිදු කරලා වාඩිවෙන්න පුරුදු වෙන්න. 
 
3. ෆ්ලෂ් කරද්දී පරිස්සමින් 
 
අපි දන්නවා ෆ්ලශ් කරන එක අපි විතරක් කරන දෙයක් නෙමෙයි. බොහෝ විට ෆ්ලෂ් බොත්තම මත ක්ශුද්‍ර ජීවීන් ඉන්නවා. එබැවින් ටොයිලට් පේපර් ඇගිල්ල මත තබා ෆ්ලෂ් බොත්තම ඔබන්න. ඒ වගේම වහාම එම කඩදාසිය කුණු කූඩයට දමන්නත් අමතක කරන්න එපා. 
 
4. දෑත් සෝදන්න 
 
වැසිකිළියේදි අපේ අත්වලට අහිතකර බැක්ටීරියා තැවරෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. ඒ නිසා අත් දෙක සෝදාගැනීමේදී අත්වල ඇඟිලිවල සෑම තැනක්ම හොඳින් සබන් තැවරෙන සේ සෝදාගන්නට ඕනි. ඒ වගේම අපි හෝදන ටැප් එකේ කරාම කොටසත් සබන් ටිකක් දාල පිරිසිදු කර ගන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒ කොටස අපි හැමෝම අල්ලන නිසා එය බැක්ටීරියාවන්ට ඉන්න හොදම තැනක්. 
 
5. දොර අගුල ඇල්ලීම 
 
වැසිකිළිය භාවිතා කළාට පස්සේ හැකි ඉකමනින් එයින් ඉවත් වෙන්න ඕනේ. අපි පිටවීම සදහා භාවිතා කරන දොර අගුල, ක්ශුද්‍ර ජීවීන් බහුලව බෝවන ස්ථානයක් වෙනවා. දිනකට කීදෙනෙක් එය අල්ලනවා ඇද්ද? එම නිසා වැසිකිළියට ඇතුලු වීමට පෙර ටිෂූ හෝ ටොයිලට් පේපර් රැගෙන යාමට අමතක නොකරන්න. කඩදාසි මගින් දොර හැඩලය ඔතා දොර අගුල අල්ලන්න. එළියට ආ වහාම එය කුණු කූඩයට විසිකරන්න. 
 
අපි පොදු වැසිකිළියකට ගිහින් නිවැරදි ආරක්ෂිත ක්‍රම අනුගමනය කළේ නැතොත් සල්ලි දීලා ගියා වුණත් ලෙඩ රෝග සහ බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවින් අපිව වෙලාගන්නට පුළුවන්. ඒ නිසා හොඳින් අවධානයෙන් වැසිකිළිය භාවිතා කරන්නට අපි සැළකිලිමත් වීම අත්‍යවශ්‍යයි. 
 
(Dinithi Thilakarathne @ COLOMBO TIMES)