2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය) එළඹෙන පෙබරවාරි 18වනදා සිට මාර්තු 21වනදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර සඳහන් කළේ කථානායකවරයාගේ ප්රධානත්වයෙන් අද (31) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සහා රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි.
ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025 ජනවාරි 9වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද මෙහිදී තීරණය වී තිබෙනවා.
ඒ අනුව 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම පෙබරවාරි 17වනදා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම දෙවනවර කියවීමේ විවාදය පෙබරවාරි 18වනදා සිට 25වනදා දක්වා දින 7ක් පවත්වා අනතුරුව පෙබරවාරි 25වනදා පස්වරු 6.00ට අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27වනදා සිට මාර්තු 21වනදා දක්වා දින 19ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21වනදා පස්වරු 6.00ට පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)