22 November 2024


කටුපොල් තහනම වහා ඉවත් කරන ලෙසට ඉල්ලීමක්



ශ‍්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වූ උග‍්‍ර ආර්ථික අර්බුදය මධ්‍යයේ, කටුපොල් තහනම වහා ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) රජයෙන් ඉල්ලා සිටිනවා. 

විශේෂයෙන් කලාපීය වැවිලි සමාගම් (RPCs) සහ කුඩා පරිමාණයේ කටුපොල් වගාකරුවන් යන දෙපාර්ශවයම ප‍්‍රතිලාභ ලබන කටුපොල් වගාවේ තිරසාර වර්ධනය සඳහා පුළුල් ප‍්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කරනවා. 
 
ශ‍්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අභියෝග හේතුවෙන් බොහෝ ජනතාවට මූල්‍ය දුෂ්කරතා ඇති වී තිබෙන අතර මෙරට දරිද්‍රතා අනුපාතය 2022 දී 25% සිට 2023 දී 28% දක්වා ඉහළ ගියා. 
 
විශේෂයෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවල එය 32% දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
කුඩා වතු හිමියන්ට තිරසාර කටුපොල් වගාව සඳහා ඉඩ සැලසීම තුළින් මෙම ගැටලුවලට විසඳුමක් සොයා ගත හැකි බව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සේනක අලවත්තේගම මහතා සඳහන් කරනවා. 
 
විශේෂයෙන් අයහපත් කාලගුණික තත්වයන් සහ විවිධ රෝග හේතුවෙන් සිය වගාවන් විනාශයට පත් වීම නිසා පීඩාවට පත් කුඩා රබර් වතු හිමියන්ට කටුපොල් වගා කිරීමට අවස්ථා ලබාදීමේ වැදගත්කම ඔහු විශේෂයෙන් අවධාරණය කළා.
(colombotimes.lk)