25 March 2025


මාස 2කට අදාළ විදුලි බිල්පත් එකවර ලබාදීමක්



හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ජනපදයේ විදුලි පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වී තිබෙනවා.

ඒ ගත වූ මාස 2කට අදාළ විදුලි බිල්පත් ඊයේ (22) දින මනු කියවන්නා විසින් ලබාදීම හේතුවෙන්.

පසුගිය ජනවාරි මාසයේ 25වනදා අවසන් වරට විදුලි බිල්පතක් ලබාදුන් බවත් එම බිල්පත් ගෙවීමෙන් අනතුරුව මාස 2කට ආසන්න කාලයක් ගත වීමෙන් පසු ඊයේ මනු කියවන්නා විසින් විදුලි බිල්පත ලබාදුන් බවත් විදුලි පාරිභෝගිකයන් සඳහන් කළා.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ විදුලි පාරිභෝගිකයන්ට ලබාදී ඇති සහන කිසිවක් මාස 2කට පසු විදුලි බිල්පත නිකුත් කිරීම තුළින් නොලැබී යන බවයි.

විදුලි බිල්පත් ගෙවීමට ප්‍රමාද වුවහොත් නිවසට ලබාදි ඇති විදුලි බලය විසන්ධි කරන බවත් ඊයේ දින නිකුත් කළ බිල්පත ගෙවීමට නොහැකි තත්ත්වයක් තමන්ට උද්ගතවී ඇති බවත් පිඩාවට පත් විදුලි පාරිභෝගිකයන් සඳහන් කළා.

(colombotimes.lk)