ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන තෙමගුල සිහිකෙරෙන උතුම් වෙසක් පොහොය අද (05) යෙදී තිබෙනවා.
සමස්ත බෞද්ධ ජනතාව වෙසක් පොහෝ දිනයේදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් වෙසක් පොහොය සැමරීම සිදුකරනවා.
බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ අද වැනි වෙසක් පොහෝ දිනකයි.
එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක වීම විශේෂත්වයක්.
විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක පෝ දිනක සිදුවූ බව කියැවෙනවා.
බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් අපවත් වන්නේ ද වෙසක් පෝ දිනකයි.
(colombotimes.lk)