22 January 2025


අමාත්‍යවරයෙක්ගේ මන්ත්‍රී ධූරයට එරෙහි පෙත්සම ගැන තීරණයක්



ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය උපාලි පන්නිලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා පෙබරවාරි 19වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළා.

ඒ එම පෙත්සම අද (22) අභියාචනාධිකරණ විනිසුරු මහේන් ගොපල්ලව ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී විනිසුරුවරයා පෙන්වා දුන්නේ පෙත්සම තුළින් පෙත්සම්කරුවන් අතුරු සහන ඉල්ලීමක් අපේක්ෂා කරන බැවින් වගඋත්තරකරුවන් සියලු දෙනාට නොතීසි ලබාදීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සුදුසු බවයි.

ඒ අනුව ලබන 27 වනදාට පෙර සියලු වගඋත්තරකරුවන්ට නොතිසි යැවීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළා.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හෙරත් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මහ ලේකම්, රුහුණු විශ්වවිද්‍යාලය සහ එහි උප කුලපති ඇතුළු පිරිසක් නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)