01. ඉෂාරා ඉන්දියාවට ගිය බෝට්ටුව හමුවෙයි
ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පළායාම සඳහා යොදාගත් බෝට්ටුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ යාපනය අරාළිතුඩුව මුහුදු තීරයේ තිබියදීයි.
මෙම බෝට්ටුව ඉෂාරාට ඉන්දියාවට පළායාමට මඟ සැලසූ බව කියන ආනන්දන් නැමැත්තාට අයත් අශ්වබල 400ක එන්ජිමකින් යුක්ත බෝට්ටුවක් බවට අනාවරණය වී තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් ආනන්දන් නැමැත්තාගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මෙම බෝට්ටුව සොයාගැනීමට සමත්වී තිබෙන බවයි වාර්තා වන්නේ.
02. බස් රථයක් ගිනිගනියි - 25කට දිවි අහිමි වෙයි
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හී අද (24) අළුයම බස් රථයක් ගිනිගෙන අනතුරක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ හයිද්‍රාබාද් සිට බැංගලෝර් දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් කර්නූල්හීදී මෙලෙස ගිනි ගැනීමකට ලක්වූ බවයි.
මෙම අනතුරෙන් පුද්ගලයන් 25කට වැඩි පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයන් 39දෙනෙක් සිට තිබෙන බවයි වාර්තා වන්නේ.
බස් රථයේ යතුරුපැදියක් ගැටී එම යතුරුපැදිය බස් රථය යටට ගොස් ඉන්ධන ටැංකියේ වැදීම හේතුවෙන් මෙම ගින්න ඇතිවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුර සිදුවන අවස්ථාවේ මගීන් රැසක් නින්දේ සිට ඇති අතර එය මරණ සංඛ්‍යාව ඉහළයාමට හේතු වී ඇති බවයි.
බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන ඇති අතර තුවාල ලැබූවන් කර්නූල් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
03. සෙව්වන්දිව ඉන්දියාවට පැන්නූ බෝට්ටුවේ රියදුරු අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරිය ලෙස නම් කර ඇති ඉෂාරා සෙව්වන්දි යාපනය හරහා ඉන්දියාවට පළායාමට ආධාර කළ බවට චෝදනා ලැබූ බෝට්ටුවේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්.
සෙව්වන්දිට පළායාමට ආධාර කළ බවට සැකකෙරෙන රියදුරුගේ මස්සිනා වන රියැදුරුගේ සහායකයා ලෙස කටයුතු කළ ආනන්දන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමෙන් පසුව මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා.
04. තායිලන්තයෙන් තෑගි කළ ඇතුන් නැවත එරටට ගෙන්වා ගැනීමේ තීරණයක්
තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇතුන් දෙදෙනෙක් ආපසු ගෙන්වා ගැනීමට එරට රජයේ අවධානය යොමුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔක්තෝබර් මස 28වන දින ශ්‍රී ලංකා රජය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.
ඇතුන් දෙදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන අයහපත් සැලකිල්ල හේතුවෙන් තායිලන්ත රජය මෙම තීරණය ගෙන තිබෙනවා.
2023 වසරේදී ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට නැවත රැගෙන ගිය Plai Sak Surin හෙවත් 'මුතුරාජා' හස්තියා මෙරටින් රැගෙනයාමට අනුගමනය කළ ක්‍රියාවලියම මෙම ඇත්තු දෙදෙනා රැගෙනයාම සඳහා භාවිත කිරීමට නියමිතයි.
(colombotimes.lk)
