අද අපි කතා කරන්නේ අපි ගොඩක් අය නොදැනුවත්වම දිනපතා කරන ප්‍රධාන සෞඛ්‍ය වැරදි 7 ගැන. සමහරවිට ඔයත් මේ වැරදි කරනවා ඇති. හැබැයි අද ඉඳන් මේ වැරදි කරන එක නතර කරන්න. එහෙම කරන එකෙන් ඔයාගේ ශක්තිය වැඩි කරගන්න පුළුවන්, මනස සහ ශරීරය සෞඛ්‍ය සම්පන්න විදිහට පවත්වාගෙන යන්නත් පුළුවන්.
උදෑසන ආහාරය මඟ හැරීම

ගොඩක් අය හිතන්නේ උදෑසන ආහාරය මඟ හැරීමෙන් බර අඩු කර ගන්න පුළුවන් කියලා. ඒකෙන් වෙන්නේ පරිවෘත්තීය ක්‍රියාවලිය මන්දගාමී කරන එක සහ ශරීරයේ ශක්තිය අඩු කරන එක.
ඒ වගේම මේ විදිහට උදෑසන ආහාරය මඟ හැරීමෙන් දහවල් ආහාරය ගැනීමේදී ආහාර අධික ලෙස ගැනීමේ සිදු වෙනවා. එමඟින් රුධිරයේ සීනි මට්ටම අඩු වීම, තෙහෙට්ටුව, කෝපය සහ අවධානය යොමු කිරීමේ අපහසුතාවයන් ඇති වෙනවා.
ඒ නිසා උදෑසන ආහාරය මඟ හරින්නේ නැතුව බිත්තර, යෝගට්, ධාන්‍ය වර්ග, තන්තු සහිත ආහාර උදෑසන ආහාර ලෙස ගන්න.
ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම

ආහාර ජීර්ණය, සමේ සෞඛ්‍යය සහ මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය දෙයක් තමයි ජලය කියන්නේ. මොකද දහඩිය, මුත්‍රා සහ හුස්ම ගැනීමට හරහා අපේ ශරීරයේ තියෙන ජලය ටිකෙන් ටික අඩු වෙලා යනවා. හැබැයි ඔයා දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය ගත්තේ නැත්නම් විජලනය වෙලා අවයව සහ ශරීර ක්‍රියාකාරිත්වය අඩු වෙලා යන්න පුළුවන්.
ඒ වගේම හිසරදය, ශක්තිය අඩුකම, දුර්වල ආහාර ජීර්ණය, සම වියළි වීම සහ අවධානය යොමු කිරීමේ අපහසුතා වැනි ගැටළු ඇති වෙන්න ඉඩ තියෙනවා.
මේ වගේ ලෙඩ දාගන්නේ නැතුව දිනකට අඩුම වතුර ලීටරයක් බොන්න උත්සාහ කරන්න.
දුර්වල නින්දේ පුරුදු

හරියට නින්ද යන්නේ නැත්නම්, නිදාගන්න හරි වෙලාවක් නැත්නම් ඒක ඔයාගේ ශරීරයට ලොකු ප්‍රශ්නයක්. මොකද රෑට නිදාගත්තම අපේ ශරීරයේ විවිධ දේවල් සිද්ධ වෙනවා. විශේෂයෙන් ශරීරය අලුත්වැඩියා කිරීමට, හෝමෝන නියාමනය කිරීමට සහ මානසික සෞඛ්‍යය පවත්වා ගැනීමට නින්ද ගොඩක් වැදගත්.ඔයාට හොඳ නින්දක් නැත්නම් මානසික ආතතිය, ශරීරයේ බර වැඩි වීම සහ ප්‍රතිශක්තිය අඩු වීම වගේ ගැටළු ඇති වෙන්න පුළුවන්.ඒ නිසා දිනකට පැය 7 - 9ක් අතර කාලයක් නිදාගන්න. ඒ වගේම පුළුවන් නම් නින්දට කාලසටහනක් තියාගන්න. රෑට නිදාගන්නේ 10ට නම් උදේ 6ට නැගිටිනවා නම් ඒක හැමදාම ඒ වේලාවන්වලට සිද්ධ කරන්න. එතකොට ටික දවසක් මේ විදිහට කරනකොට ඔයාට ඒක නිකන්ම පුරුදු වෙයි. දුරකථන සහ තිර අධික ලෙස භාවිතා කිරීම
නිරන්තරයෙන් Digital Screen වලට නිරාවරණය වෙන එකෙන් ඔයාගේ ඇස්වලට, ඉරියව්වලට සහ මානසික සෞඛ්‍යයට විශාල බලපෑමක් එල්ල කරනවා. මේ නිසා ආතතිය, බෙල්ල පිටුපස වේදනාව, හිසරදය සහ නින්ද නොයාම වගේ ගැටළුද ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් Digital Screen වලින් ඈත් වෙන්න උත්සාහ කරන්න. හැබැයි ඔයා කරන රැකියාව අනුව Digital Screen ඉස්සරහට වැඩි වෙලාවක් ඉන්න සිද්ධ වෙනවා නම් ටික වැඩ කරන අතරතුර ටික වෙලාවක් කොළ පැහැති ස්වභාවික පරිසරය දෙස බලා සිටින්න. ව්‍යායාම මඟ හැරීම
කම්මැලිකමෙන් ජීවත් වෙනකොට මොකද දන්නවද වෙන්නේ. ශරීරයේ බර වැඩි වෙනවා, ශක්තිය අඩු වෙනවා, රුධිර සංසරණය දුර්වල වෙනවා, පරිවෘත්තිය ක්‍රියාවලිය මන්දගාමී කරනවා, හෘද රෝග, දියවැඩියාව සහ මානසික අවපීඩනය ඇතිවීමේ අවදානම වැඩි කරනවා.
ඒ නිසා කම්මැලිකමේ ඉන්නේ නැතුව හැමදාම විනාඩි 30ක්වත් ව්‍යායාම කරන්න. ඒකෙදි ඔයාට පුළුවන් ඇවිදින්න, බයිසිකල් පදින්න, පිහිනන්න, Gym එකට ගිහින් හරි ගෙදර ඉඳන් හරි ව්‍යායාම කරන්න. ඒ වගේම යෝගා වුණත් කරන්න පුළුවන්.
දුර්වල ආහාර ගැනීමේ තේරීම්
අපි අපේ ලේසියටනේ ගොඩක් වෙලාවට කෑම ගන්නේ. එහෙම නැතුව සෞඛ්‍ය ගැන හිතලා නෙමෙයි. සැකසූ ආහාර, සීනි සහ සෞඛ්‍ය සම්පන්න නොවන මේද අධික ආහාර තමයි ගන්නේ. මේ වගේ ආහාර ගන්න එකෙන් ශරීරයේ ශක්තිය අඩු වෙනවා, ආහාර ජීර්ණ ගැටළු ඇති කරනවා, දියවැඩියාව, හෘද රෝග වගේ නිදන්ගත රෝග ඇති වෙනවා
ඉතින් නිරෝගීව, සෞඛ්‍ය සම්පන්නව ඉන්න පළතුරු, එළවළු, ධාන්‍ය වර්ග සහ ප්‍රෝටීන් බහුල ආහාර ගැනීමට වග බලාගන්න. මේදය, සීනි සහ සැකසූ කෙටි ආහාර සීමා කරන්න.
මානසික සෞඛ්‍යය නොසලකා හැරීම
අපිට ඇති වෙන මානසික ආතතිය, කාංසාව වගේ තත්වයන් අපේ සමස්ත සෞඛ්‍යටම බලපානවා. මේ වගේ තත්වයන්වලදී ප්‍රතිශක්තිය දුර්වල වීම, නින්දට බාධා ඇති වීම, ගැස්ට්‍රයිටිස් තත්වයන් ඇති වෙන්න පුළුවන්.
ඒ නිසා හැමදාම පොඩි වෙලාවක් හරි වෙන් කරගෙන භාවනා කරන්න, ජර්නල් එකක් ලියන්න, චිත්‍රයන් අඳින්න, පාට කරන්න, ඔයා කැමති විනෝදාංශයක්, යාළුවොත් එක්ක කාලය ගත කරන්න
ඉතින් ඔයත් මේ වැරදි කරනවා නම් අද ඉඳන් ඒ දේවල් නොකර ඉන්න උත්සාහ කරන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ නිරෝගීව, සෞඛ්‍ය සම්පන්නව ගත කරන්න.
(colombotimes.lk)