05 May 2025


ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අවබෝධතා ගිවිසුම් 4ක්



ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 04ක් හා එක් ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං ඉදිරියේදීයි.

වියට්නාම ජනාධිති මන්දිරයේ දෙරට අතර අද (05) පැවැති ද්විපාර්ශවික සාකච්ඡාවලින් අනතුරුව එම ගිවිසුම්වලට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී වියට්නාම සමාජවාදී ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර රේගු කටයුතු සම්බන්ධයෙන් සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සහාය පිළිබඳ එකඟතාවයකට පැමිණ තිබෙනවා.

වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, වියට්නාමයේ කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය සහ ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතර කෘෂිකර්ම සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකා බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුම හා වියට්නාම වෙළෙඳ ප්‍රවර්ධන නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා යන ගිවිසුම්වලට එහිදී අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)