එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අප්‍රේල් මස 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දියර කිරි සහ යෝගට් සඳහා වන වැට් බද්ද ඉවත් කර ඇති බවයි.
ඒ සඳහා නැවුම් කිරි අවම වශයෙන් 50%ක් අඩංගු විය යුතු බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 09 වන දින පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ඒ සඳහා අප්‍රේල් 11 වන දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය සහතිකය සටහන් කළා.
ඒ අනුව අදාළ පනත එදින සිට බලාත්මක බැවින් බදු සංශෝධනයන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
දියර කිරි සහ යෝගට්වලට අමතරව විදුලි ජනනය සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සපයන නැප්තා සඳහා වන වැට් බද්ද ද ඉවත් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එකතු කළ අගය මත බදු සංශෝධන නව පනතට අනුව අනේවාසික පුද්ගලයන් විසින් සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහා වැට් බදු පැනවීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව ඔක්තෝබර් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අනේවාසික පුද්ගලයන් විසින් විද්‍යුත් වේදිකා හරහා ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ට සපයනු ලබන සේවාවන්වලට වැට් බද්ද අදාළ වන බවයි.
ඊට අමතරව වාණිජ අරමුණු සඳහා භාණ්ඩ ආනයනය කරන හෝ අපනයනය කරන සියලුම පුද්ගලයන් එකතු කළ අගය මත බදු සංශෝධන පනතේ ලියාපදිංචි වීම ද අනිවාර්යය කර තිබෙනවා.
(colombotimes.lk)