19 April 2025


අල්ලස් කොමිසම ගැන රනිල් විමතියට පත්වෙයි



තමන් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ක්‍රියා කර තිබෙන අතිශය වේගවත් ස්වරූපය පුදුමය දනවන සුළු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මේ සම්බන්ධයෙන් viii වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ ප්‍රථම වරට ප්‍රචාරය වූයේ පෙරේදා (10) පස්වරු 6.00ට බවයි.

එදින රාත්‍රියේ සිට පසුදින කාර්‌යාල විවෘත වන වේලාව තෙක් කිසිදු නිලධාරියෙක් කොමිෂන් සභාවේ රාජකාරි නොකළ බව තහවුරු වන බවද එම නිවේදනයේ සඳහන්.

අල්ලස කොමිසමට කැඳවීමට අදාළ ලිපිය viii වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලට ලැබී තිබෙන්නේ ඊයේ (11) දහවල් 12.30ට පමණ බවයි වාර්තා වන්නේ.

ප්‍රකාශය කර පැය 18ක් ගත වීමට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විර්මශන කොමිසම රනිල් වික්‍රමසිංහ වෙත එම දැනුම්දීම කර ඇති බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්‌ශන කොමිෂන් සභාවේ මෙම ක්‍රියාකාරීත්වය ලෝක වාර්තාවක් තැබීමට සමාන  බවත්  viii වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



(colombotimes.lk)