23 February 2025


පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි වාර්තාවීම ඉහළට



පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි වාර්තාවීම ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් කියා සිටියේ ඉන් බහුතරයක් වාර්තා වී ඇත්තේ වධහිංසා කිරීම, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම මෙන්ම හිරිහැර කිරීම සම්බන්ධයෙන් බවයි.
 
ජනතා පැමිණිලිවලට අදාළව ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වන බව මානව හිමිකම් කොමිසම සඳහන් කළා.

වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සාමාජිකයන් අතර පැවති හමුවකදී ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී මානව හිමිකම් කොමිසම නිර්දේශ කර ඇත්තේ පොලීසියේ අභ්‍යන්තර ක්‍රියාවලීන් ප්‍රතිව්‍යුහගත කර, නව තාක්ෂණික උපක්‍රම භාවිත කරන ලෙසයි.

මේ වසර තුළ මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සැළකිය යුතු ලෙස අවම කිරීම සිය අරමුණ බව වැඩබලන පොලිස්පතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

(colombotimes.lk)