ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහී එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේදී පසුගිය 22වනදා එහි තානාපති Jamieson Greer හමුවී තිබෙනවා.
ඒ අනුව එහිදී පැවති සාකච්ඡා සම්බන්ධයෙන් රජය විසින් කරන ප්‍රකාශය ජනාධිපති මාධ්‍ය අංශය අද (25) මාධ්‍ය වෙත නිකුත් කළා.
එම නිවේදනයේ සඳහන් වන්නේ අදාළ සාකච්ඡාවේදී ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත තානාපති Greer වෙත යොමු කළ ලිපි ගනුදෙනුවෙහි මුල් පිටපත් මුදල් අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත ශ්‍රී ලංකා දූත පිරිස විසින් ඔහුට භාර දුන් බවයි.
අතීතයේදී මුහුණ දුන් අභියෝග සහ අනාගතයේ මතු විය හැකි අභියෝග ජය ගැනීමට මෙන්ම ආර්ථිකය යළි පූර්ණ ලෙස යථා තත්ත්වයට පත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පිළිබඳව එහිදී නියෝජිත පිරිස තානාපතිවරයාව දැනුවත් කර තිබෙනවා.
වෙළෙඳ හිඟය අඩු කිරීමටද, තීරු බදු සහ තීරු බදු නොවන බාධක අවම කිරීම සඳහාද එක්සත් ජනපද රජය සමඟින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති යුහුසුළු සහ ධනාත්මක කැපවීම පිළිබඳව මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිස පෙන්වා දුන් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)