19 April 2025


අලුත් අවුරුද්දට අද ගමට යන අයට විශේෂ දැනුම්දීමක්



සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවට විශේෂ දුම්රිය සේවා අද (11) සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ ඒ සඳහා විශේෂ දුම්රිය 10ක් ධාවනයට එක් කරන බවයි.

ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල බලා අද රාත්‍රී 7.30ට විශේෂ දුම්රියක් ධාවනය කරන අතර ඊට සමගාමීව බදුල්ලේ සිට කොළඹ කොටුව බලා එක් දුම්රියක් පැමිණීමටද නියමිතව තිබෙනවා.

මීට අමතරව කොළඹ කොටුව සිට ගාල්ල දක්වා අද රාත්‍රී 7.20ට විශේෂ දුම්රියක් ධාවනය වන අතර ඊට සමගාමීව ගාල්ලේ සිට කොළඹ කොටුවට බලා දුම්රියක් පැමිණීමටද නියමිතයි.

එමෙන්ම අද පෙරවරුවේදී කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රියක් ධාවනය වූ අතර එය නැවත 18වනදා ආපසු පැමිණීමට නියමිතව තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර වැඩිදුරටත් කියා සිටියේ මෙම විශේෂ දුම්රිය 10 මඟින් අවුරුදු සමයේ සහ දීර්ඝ සතිඅන්ත නිවාඩු කාලය තුළ ගමන්වාර 31ක් ධාවනය කරන බවයි.

මේ අතර ගම්බිම් බලා යන ජනතාවගේ අවශ්‍යතාවන් සඳහා ප්‍රමාණවත් පරිදි බස් රථ යෙදවීමට අද දිනයේත් කටයුතු කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල සඳහන් කළා.

එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී. එච්. ආර්. ඩී. චන්ද්‍රසිරි කියා සිටියේ මගී අවශ්‍යතාවය පරිදි අතිරේක බස් රථ යෙදවීමට කටයුතු කරන බවයි.

(colombotimes.lk)