ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඉදිරියේ ඊයේ (05) සිදු කර තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
එහිදී ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවල නව පරිචේඡේදයක් සනිටුහන් කරමින් බලශක්ති, ඩිජිටල්කරණය, ආරක්ෂක, සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සහ ප්‍රදාන ආධාර පිළිබඳ මෙම අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීම සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව විදුලි බලය ආනයනය/අපනයනය කිරීම සඳහා අධිවෝල්ටීය සරල ධාරා (HDVC) අන්තර් සම්බන්ධතාවක් ක්‍රියාත්මක කිරීම සඳහා වන ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වූ අවබෝධතා ගිවිසුම බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ. ටී. එම් උදයංග හේමපාල සහ ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි විසින් හුවමාරු කරගෙන තිබෙනවා.
ඩිජිටල් පරිවර්තනය උදෙසා ජනතා මට්ටමින් ක්‍රියාත්මක කරන සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කරගැනීමේ ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුමද එහිදී හුවමාරු කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල සහ ඉන්දීය විදේශ ලේකම්වරයා විසින්.
එමෙන්ම ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුත්තේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර වූ ත්‍රෛයිපාර්ශවීය අවබෝධතා ගිවිසුම බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ. ටී. එම්. උදයංග හේමපාල, ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසාර් විසින් හුවමාරු කරගත් බවයි වාර්තා වන්නේ.
ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එච්. එස්. සම්පත් තුයියකොන්තා සහ ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි විසින් හුවමාරු කරගෙන තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අතර වූ සෞඛ්‍ය හා ඖෂධ ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුම එම අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා විසින් හුවමාරු කරගත් බවයි.
මේ අතර ඖෂධ සංග්‍රහ සහයෝගීතාව උදෙසා ඉන්දියානු සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයේ ඖෂධ සංග්‍රහ කොමිසම සහ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අතර වූ අවබෝධතා ගිවිසුම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා විසින් හුවමාරු කරගෙන තිබෙනවා.
නැගෙනහිර පළාතේ බහු-ආංශික ප්‍රදාන සහය සඳහා වූ අවබෝධතා ගිවිසුමද මෙහිදී හුවමාරු කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා විසින්.
(colombotimes.lk)