22 April 2025


නිවාස ඒකකයක් සඳහා ලබාදෙන ආධාර මුදල ඉහළට



'ඔබට ගෙයක් - රටට හෙටක්' නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබාදෙන ආධාර මුදල ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

මෙම නිවාස වැඩසටහන දිළිඳු හෝ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව සහ ඒ හා බැඳි දරිද්‍රතාව අඩු කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මකයි.

එම වැඩසටහන යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමකම දිළිඳු හෝ අඩු ආදායම්ලාභී එක් පවුලක් ප්‍රමුඛතාව මත හඳුනාගෙන නිවසක් ඉදිකිරීම/වැඩිදියුණු කිරීම පිණිස ඉදිකිරීමේ ප්‍රගතිය මත පදනම්ව ආධාර මුදලක් පිරිනැමීම සිදු කරනු ලබනවා.

එහිදී තෝරා ගන්නා ප්‍රතිලාභියා විසින් අවම වශයෙන් වර්ග අඩි 550ක නිවසක් ඉදි කළ යුතු අතර ඒ සඳහා රජය විසින් ලබාදෙන රුපියල් 650,000ක ආධාර මුදලට අමතරව ඉතිරි මුදල අදාළ ප්‍රතිලාභියා විසින් දැරිය යුතු වන බව සඳහන්.
 
එමෙන්ම වැඩසටහන ආරම්භයේදී එක් නිවසක ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් 1,147,000ක් වූ නමුත් මේ වන විට එම පිරිවැය රුපියල් 1,764,000ක් දක්වා වැඩි වී තිබෙනවා.  

රජයේ ආධාර මුදලට අතිරේකව ඉතිරි මුදල දැරීමට තෝරා ගන්නා ප්‍රතිලාභීන්ගේ ආර්ථික තත්ත්වය අනුව හැකියාවක් නොමැති බැවින් දැනට නිවාස ඒකකයක් සඳහා ලබාදෙන රුපියල් 650,000ක් වන රජයේ ආධාර මුදල රුපියල් 1,000,000ක් දක්වා වැඩි කිරීමටත් නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)