08 May 2025


පාඨලීට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් තීන්දුව



තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙක්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කළ අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍රය ගොනු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධි චෝදනා පත්‍රය විභාගයට ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කොළඹ මහාධිකරණයට නියම කර තිබෙනවා.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සන්ත කෝදාගොඩ විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)