27 January 2025


ටයිටන් සබ්මැරීනයේ සොයාගත් සුන්බුන් කොටස් මෙන්න



දින පහක් පුරා අමෙරිකාවේ වෙරළාරක්ෂක බළකාය සහ කැනඩාව ඒකාබද්ධව සිදු කළ දැවැන්ත මෙහෙයුම පෙරේදා අවසන් කරනු ලැබුවේ එම යාත්‍රාවේ කැබලි කිහිපයක් සොයා ගැනීමෙන් පසුවයි. 

ඒ සමඟම ටයිටන් සබ්මැරිනය පුපුරා ගොස් එහි සිටි මගීන් ජීවිතක්ෂයට පත් වී ඇතැයි තහවුරු කෙරුණා. 
 
ටයිටන් සබ්මැරීනයේ ඇතුළත ඇති ඔක්සිජන් ධාරිතාව දින 4කින් අවසන් වනු ඇතැයි අනුමාන කරමින් මෙහෙයුම් කඩිනම් කළ ද, කිසිදු හෝඩුවාවක් සොයාගත නොහැකි වූ අමෙරිකානු වෙරළාරක්ෂක බළකායට නිශ්චිත හෝඩුවාව සපයමින් එම සබ්මැරිනයේ සුන්බුන් සොයා ගැනීමට ආධාර වී ඇත්තේ වික්ටර් 6,000 නිරීක්ෂණ උපකරණය බව වාර්තා වනවා. 
 
සොයා ගත් කැබලි අතර ටයිටන් සබ්මර්සිබලයේ වල්ගා කොටස, ඉදිරිපස කුඩා කොටසක් සහ බඳ කොටසක් ඇතුළු කුඩා සුන්බුන් තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
එදිනම පස්වරුවේ මාධ්‍ය හමුවක් පැවැත් වූ අමෙරිකානු වෙරළාරක්ෂක බළකායේ රියර් අද්මිරාල්වරයා ටයිටන් සබ්මර්සිබල මුහුදු පතුලේදී පුපුරා විනාශ වූ බවත්, එහි ගමන් ගත් සියලුම පුද්ගලයන් ජීවිතක්ෂයට පත් වී ඇති බවත් නිල වශයෙන් ප්‍රකාශ කළා. 
 
මගීන් පස්දෙනාගේ මළ සිරුරු සොයා ගැනීමේ දුෂ්කරතාව පිළිබඳ සඳහන් කරමින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ශෝකය ප්‍රකාශ කරමින් එම මෙහෙයුම් අවසන් කිරීමට වෙරළාරක්ෂක බළකාය පියවර ගත්තා.
(colombotimes.lk)