08 August 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. ගුවන්යානයක් කඩා වැටෙයි - 06ක් ජීවිතක්ෂයට

කෙන්යාවේ වෛද්‍ය ආධාර සපයන ගුවන්යානයක් කඩා වැටී ඊයේ (07) බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට අගනුවර වන නයිරෝබි අසල නේවාසික ප්‍රදේශයකට මෙම යානය කඩාවැටී ඇති බවයි.

මෙම යානය සෝමාලිලන්තය බලා පියාසර කරමින් තිබියදී මෙලෙස කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ නියමුවා ඇතුළුව පුද්ගලයන් 4දෙනෙක් යානයේ සිට ඇති අතර ඔවුන් සියලුදෙනාට දිවි අහිමි වී තිබෙනවා.

එමෙන්ම යානය කඩාවැටෙන අවස්ථාවේ නේවාසික ප්‍රදේශයේ සිටි දෙදෙනෙක්ද මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.



02. හෙට ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට එළඹෙන සෙනසුරාදා (09) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා. 

ඒ අනුව උදෑසන 10.00 සිට පස්වරු 08.00 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ. 

නිට්ටඹුව, කන්දහේන, මාපගොල්ල, කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙනිය, රණ්පොකුණුගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මීවිටිගම්මානය, මාඉඹුල, මාතලාන, හග්ගල්ල, අලවන, කලල්පිටිය, ඇලමුල්ල යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. 

 

03. බෙන්ජමින් නෙතන්යාහුගේ සැලැස්මකට අනුමැතිය

ගාසා තීරයේ ඊශ්‍රායල පාලනයේ නොමැති ප්‍රදේශයක් වන ගාසා නගරය සම්පූර්ණයෙන් අත්පත් කරගැනීමේ බෙන්ජමින් නෙතන්යාහුගේ සැලැස්ම ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය ඊයේ (07) රාත්‍රියේ රැස්වූ බවයි.

එහිදී නෙතන්යාහු විසින් ගාසා නගරය සම්පූර්ණ හමුදා පාලනයකට අත්පත් කරගැනීමේ අවශ්‍යතාව පැහැදිලි කර තිබෙනවා. 


04. පෙරහැරේ යන අලි ඇතුන්ටත් සම්මාන පළඳනා පිරිනමයි

වසර හතළිහකට වඩා වැඩි කාලයක් ඇසළ පෙරහැර මංගල්‍යයට දායක වූ අලි ඇතුන් සඳහා සම්මාන පළඳනා පිරිනැමීම ඊයේ (07) සිදු කර තිබෙනවා.

ඒ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදීයි.
  
මෙරට 96ක් වන හීලෑ අලි ඇතුන්ගෙන් අලි ඇතුන් 47දෙනෙක් අවුරුදු හතළිහට වඩා වැඩි කාලයක් සංස්කෘතික මංගල්‍යයන්වලට සහභාගී වූ
හීලෑ අලි ඇතුන් වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා. 

ඒ අනුව අලි ඇතුන් 27දෙනෙක් මෙම සම්මාන පළදෙනාවෙන් පිදුම් ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.



05. නෙතන්යාහුගේ තීරණයට ඊශ්‍රායලය කැළඹෙයි

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා නගරයේ පාලනය අත්පත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කර ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය බහුතර ඡන්දයෙන් මේ සඳහා අනුමැතිය ලැබී ඇති බවයි. 

වසර 02කට ආසන්න කාලයක් ගාසා - ඊශ්‍රායල් යුද ගැටුම් හටගෙන තිබෙනවා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කළේ ගාසා තීරය මුළුමනින්ම අත්පත් කර ගැනීමට තමන්ට අවශ්‍ය බවයි.
 
කෙසේ වෙතත් ගාසා නගර අත්පත් කර ගැනීමේ මෙම තීරණයට විරුද්ධව ඊශ්‍රායල ජාතිකයන් රැසක් සිය විරෝධය දක්වා ඇති අතර රට පුරා විරෝධතා රැසක්ද මේ වන විටත් නිර්මාණය වී තිබෙනවා. 

එමෙන්ම ලොව පුරා රටවල් රැසක්ද ඊශ්‍රායලයේ මෙම තීරණයට එරෙහිව අදහස් ප්‍රකාශ කර ඇති අතර එමඟින් එම රටවල්වල රාජ්‍ය නායකයන් සඳහන් කළේ අදාළ තීරණයෙන් තවත් ලේ වැගිරීම් වැඩිවන බවයි. 


06. දිවයිනට පැමිණි චීන ජාතිකයෙක් යළි පිටුවහල් කරයි

පිලිපීනයේ සයිබර් වංචා සමාගමක සේවය කළ චීන ජාතිකයෙක් යළි පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අද (08) පියවර ගෙන තිබෙනවා. 

ඔහු මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 045 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ හරහා දිවයිනට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙම චීන ජාතිකයා සංචාරක වීසා අනුකාණ්ඩයක් යටතේ වීසා ලබාගෙන මෙරට ක්‍රියාත්මක සමාගමක සේවය සඳහා පැමිණ තිබුණත් ඔහුට නිශ්චිත තොරතුරක් සැපයීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස යළි පිටුවහල් කර තිබෙනවා.



07. උසස් පෙළ අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්

එළඹෙන අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාල සීමාව දීර්ඝ කර තිබෙනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය එළඹෙන 12වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබෙන බවයි.

2024  නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 උසස් පෙළ විභාගයට අයදුම් කිරීමට බලාපොරොත්තු වන සහ ඒ සඳහා අයදුම් කිරීමට ලබාදී තිබූ කාල සීමාව තුළ අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ට මෙම අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසාදී තිබෙනවා. 

අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මෙම සහන කාල සීමාව කිසිදු හේතුවක් මත තව දුරටත් දීර්ඝ නොකරන බවයි. 



(colombotimes.lk)