16 June 2025


කොළඹ මහ නගර සභාවේ බලය කාටද ? තීරණය අද



මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ඒ කොළඹ නගරශාලාවේදීයි.  

ඊට අදාළ ගැසට් නිවේදනය පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පසුගියදා නිකුත් කළ අතර ඒ අනුව පැවැත්වීමට නියමිත රැස්වීමේදී නව නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදු කිරීමට නියමිතයි. 

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාවේ 117ක් වන සමස්ත සභික සංඛ්‍යාවෙන් සභික ධූර 48ක් ජාතික ජනබලවේගයට හිමි වූ අතර සමගි ජනබලවේගයට හිමිවුණේ සභික ධූර 29ක්.

එක්සත් ජාතික පක්ෂයට සභික ධූර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධූර 5ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධූර 4ක් සහ සර්වජන බලයට සභික ධූර 2ක් හිමි වු අතර සෙසු සභික ධූර සංඛ්‍යාව අනෙකුත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර බෙදී ගොස් තිබෙනවා. 

ඡන්ද ප්‍රතිඵලයට අනුව කිසිදු පක්ෂයක් විසින් සියයට 50 ඉක්මවූ බහුතර සභික සංඛ්‍යාවක් ලබා නොගැනීම තුළ කොළඹ මහ නගර සභාවේ ප්‍රධානීන් පත් කරගැනීම සඳහා අද පැවැත්වෙන මංගල රැස්වීමේදී ඡන්ද විමසීමක්  පැවැත්වීමට නියමිතයි.
 
ඒ අනුව ඊට අදාළ ඡන්ද විමසීම අද පෙරවරු 9.30ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

(colombotimes.lk)