විල්පත්තු ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ විශාලතම වනජීවී අභය භූමිය වන අතර එය හෙක්ටයාර 131,690 ක් පුරා පැතිරී පවතිනවා. මෙහි පිහිටීම මුහුදු මට්ටමේ සිට මීටර් 152 ක තරම් උසක් දක්වා විහිදී තිබෙනවා. පුත්තලම සිට කිලෝමීටර් 25 ක් උතුරින් සහ අනුරාධපුරට කි.මි. 30 ක් බටහිරට වන්නට වයඹ දිග වෙරළ තීරයේ පිහිටා ඇති මෙම උද්‍යානය උතුරු මැද පළාත සහ වයඹ පළාත අතර මායිම වසාගෙන පැතිර පිහිට තිබෙනවා. විල්පත්තු ජාතික වනෝද්යානයට දකුණු දෙසින් මෝදරගම් අරූ ගංගාව සහ උතුරු දෙසින් කළා ඔය ගලා බසිනවා.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයට යන්නේ කොහොමද ?
කොළඹ ඉදලා 166 km ක දුරක් විතරයි විල්පත්තු ජාතික වනෝද්‍යානයට තියෙන්නේ. විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා පළමුව කොළඹ – පුත්තලම A3 මහා මාර්ගයේ පුත්තලම නගරයට පැමිණිය යුතුයි. පුත්තලමේ සිට පුත්තලම – අනුරාධපුර A12 මාර්ගයේ කි.මි. 42ක් පමණ ගමන් කල පසු විල්පත්තු උද්‍යානයේ විශාල නාම පුවරුවක් දක්නට ලැබෙන අතර එතැනින් වම් පසට දිවෙන මාර්ගයේ කි.මි. 7ක් පමණ ගමන්කල විට හුනුවිලගමට එහෙමත් නැත්තම් වනෝද්‍යානයේ පිවිසුම ට ළඟාවෙන්න පුළුවන්.
ඔයා බස් එකේ නම් යන්නේ කරන්න තියෙන්නේ මුලින්ම කොළඹ කොටුවෙන් පුත්තලම යන බස් එකක නගින්න ඕනේ. ඊට පස්සේ පුත්තලෙමෙන් බැහැල විල්පත්තු ජාතික වනෝද්‍යානයට යන්න ඕන තරම් බස් තියෙනවා. ඔයා කැමති කෝච්චියේ යන්න නම් කොටුව ස්ටේෂන් එකෙන් නගින්න ඕන අනුරාධපුර හරහා යන ට්‍රේන් එකක. ඊට පස්සේ අනුරාධපුරයෙන් බහින්න ඕනේ. එතන ඉඳන් බස් එකක හරි ටැක්සි එකක හරි විල්පත්තුව ජාතික වනෝද්‍යානයට යන්න පුළුවන්.
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සුන්දරත්වය
විල්පත්තු ජාතික වනෝද්යානය තුල විවිධ වූ ස්වාභාවික වාසස්ථාන දකින්න පුළුවන්. ඒ අතර වෙරළ තීරයන්, ස්වාභාවික විල් (විල්ලු), පාෂාණ සහිත ගංඟා, ලඳු කැලෑ, විවෘත තෘණ බිම් හා ඝන වනාන්තර සහ විවිධ වර්ගවල වන සතුන් විශාල ප්‍රමාණයක් දැකගන්න පුළුවන්.
මෙහි ක්ෂීරපායී විශේෂ 31 හඳුනාගෙන ඇති අතර කොටියන් සහ වලසුන් ඒ අතර වේ. මෙම ක්ෂීරපායින් දෙදෙනාට අමතරව ආසියානු අලින්, තිත් මුවන්, මී මින්නන්, ඕලු මුවන්, ගොනුන්, හිවලුන්, වල් ඌරන්, කුළු මී හරකුන් සහ කිඹුලන් මෙහි වාසය කරනවා.
සමනලුන් වර්ග කිහිපයක් සහ ගණන් කල නොහැකි තරම් වූ කුරුලු විශේෂ ගණනාවක් මෙහි දැකගන්න හැකියාවක් තිබෙන අතර උද්‍යානයේ නොවැම්බර් සිට මාර්තු දක්වා කාලය තුළ ශීත ඍතුවේ සංක්‍රමණික පක්ෂීන් ගණනාවකටම සත්කාරකත්වය ලබා දෙනවා. තණ බිම්වල ඇවිදිමින් සිටින තාරකා ඉබ්බන් විල්පත්තුවෙහි සුලභ දසුනක්. ඒ වගේම විශාල ප්‍රමාණයේ විල්ලු වල පොකුණු ඉබ්බන් සහ කිරි ඉබ්බන් දැකගන්නත් පුළුවන්.
උද්‍යානයේ වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.2 ක් වන අතර එහි වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1000 ක පමණ අගයක පවතිනවා. විල්පත්තු ජාතික උද්‍යානය නැරඹීමට හොඳම කාලය ලෙස පෙබරවාරි සහ ඔක්තෝබර් මාස අතර කාලය හඳුන්වන්න පුළුවන්. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සංචාරය කරීම සඳහාම විශේෂිත වූ බොරළු මාර්ග ජාලයකින් සමන්විත වෙනවා.
Special Note
විල්පත්තුව ජාතික වනෝද්‍යානය සංචාරය කිරීමේදී සාමාන්‍ය ජීප් රථයක් භාවිතා කිරීම සාමාන්‍ය දෙයක්. කොටියන්, අලින්, වලසුන්, මුවන් සහ ආවේණික පක්ෂීන් අර්ධ දින සෆාරි තුළදී පහසුවෙන් දැක ගන්න පුළුවන්. සැබවින්ම, ජාතික උද්‍යානයේ මුළු දවසම සංචාරය කිරීම වනජීවීන් සමඟ වැඩි කාලයක් ගත කිරීමට ඉඩ කඩ ලබා දෙනවා. සෆාරී අතරතුර, සංචාරකයන්ට ජීප් රථයෙන් බැසීමට ඉඩ ලබා නොදෙන අතර, එය වන ජීවීන්ගේ ජීවන රටාවන්ට ඇති විය හැකි බලපෑම අවම කරීම සඳහා ඉවහල් වෙනවා. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජීවී සංරක්ෂණ භටයින් සංචාරකයින් හට මහඟු සේවයක් සපයනවා. වනජීවී සංරක්ෂණ භටයින් සමඟ සිටින තුරු ඉතා ඝන වනාන්තරයේදී උවත් සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඔවුන් බැඳී සිටිනවා.
(Dinithi Thilakarathne @ COLOMBO TIMES)