19 November 2025

logo

මේ පුරුදු 7 ඔබ ළඟ තියෙනවද? එහෙනම් ඔබේ දරුවාගේ ආත්ම විශ්වාසය 100%



හැම අම්මටම, තාත්තටම ඕනේ තමන්ගේ දරුවා ආත්ම විශ්වාසයෙන් යුත්, නිර්භීත සහ සතුටින් සිටින දරුවෙකු විදිහට උස්මහත් වෙනවා දකින්නයි. ඒත් ඔබ දන්නවද? මිල අධික සෙල්ලම් බඩු, හොඳම පෙරපාසල හෝ පාසල, හොඳම උපකාරක පන්තිය, හොඳම කෑම බීමවලට වඩා එවන් දරුවෙක් නිර්මාණය කරන්න බලපාන ප්‍රධාන සාධකයක් තියෙනවා. 

ඔව්, ඒ තමයි දෙමව්පියන්ගේ සරල පුරුදු. දරුවන් ශක්තිමත් සහ විශ්වාසවන්ත අය කරන්න දෙමාපියන්ගේ පුංචි පුංචි පුරුදුවලට පුලුවන්. ඒ නිසයි අද Colombo Times අපි අම්මලා තාත්තලා ළඟ තියෙන්නම ඕනේ සරල පුරුදු 7ක් ගැන කියන්න හිතුවේ.

01. දරුවන්ට කුඩා දේවල් තනිවම කිරීමට ඉඩ දෙන්න.



'මම ඒක කළා!' යැයි කියන්න පුලුවන් වෙනවා කියන්නෙම දරුවන් තුළ විශ්වාසය උපද්දවන දෙයක්. ඒ නිසා කුඩා වගකීම්වල බර ඔවුන්ට දෙන්න. මේ සෑම කුඩා සාර්ථකත්වයකින්ම දරුවා තුළ අභ්‍යන්තර ශක්තිය ගොඩනඟනවා. 

- පාසල් බෑගය ඇසුරුම් කිරීම
- සෙල්ලම් බඩු පිළිවෙළට තැබීම
- වතුර බෝතලය පිරවීම 
- නිවසේ සරල වැඩවලට උදව් කිරීම


02. ප්‍රතිඵල කුමක් වුණත් දරුවන්ගේ උත්සාහයට ප්‍රශංසා කරන්න.



'මගේ පුතා දක්ෂයි' කියනාවාට වඩා ඔබ උත්සාහ කරන්න මෙහෙම කියන්න, 

'මගේ පුතා කොච්චර උත්සාහ කරාද? ගොඩාක් මහන්සි වුණා නේද? මම දන්නවා එක, මම ආදරෙයි.'
'මගේ දුව උත්සාහය අත්හැරියේ නැහැ - ඒකට මං ආඩම්බරයි.'

ඔබ මෙහෙම කියනවිට දරුවෝ ඉගෙන ගන්නවා ඔබට ඔවුන් කෙරේ විශ්වාසය ඇති වන්නේ දිනුවම හෝ සම්පූර්ණ වුනු දෙයක් වෙනුවෙන් විතරක් නෙවෙයි කියලා. උත්සාහ කිරීම පවා ඔබේ විශ්වාසය දිනා ගැනීමට රුකුලක් වන බව දරුවෝ මෙතනින් ඉගෙන ගන්නවා. ඒ නිසා ඔවුන් සෑම විටම උත්සාහවන්ත වේවි. 


03. දරුන්වගේ හැඟීම් ප්‍රකාශ කිරීමට ඔවුන්ට උගන්වන්න.

ආත්ම විශ්වාසය ඇති දරුවෙකු නිහඬව සිටින්නේ නැහැ. ඔවුන්ට ඕනේ කතා කරන්න, ඒ වෙනුවෙන් ඉඩකඩ හදලා දෙන්න.

ඔවුන්ගෙන් අසන්න:-

'අද පුතාගේ දවස කොහොමද?'
'අද දුවට දුකක් හිතුනු වෙලාවක් තිබුනද?'
'අද පුතාට සතුටු හිතුන දේ මොකක්ද?'

එවිට දරුවෙකු තම හැඟීම් වැදගත් බව වටහා ගන්නවා සහ එම නිසාම ඔවුන්ගේ ආත්ම වටිනාකම වර්ධනය වෙනවා.


04. වයසට ගැළපෙන තේරීම් කිරීමට දරුවන්ට ඉඩ දෙන්න.



ඔබ සෑම විටම ඔවුන්ට දේවල් තෝරා දෙනවා වෙනුවට අවශ්‍ය තැනකදී දරුවන්ට තමන් කැමති දේ තෝරා ගැනීමට ඉඩ දෙන්න.

'අද Class අඳින්නේ මොකක්ද?'
'අද කරන සෙල්ලම මොකක්ද?'

මේ විදිහට කුඩා තීරණ, දරුවාගේ  තීරණ ගැනීමේ කුසලතා ගොඩනඟන අතර එය විශ්වාසයද ගොඩනගනවා. 


05. දෛනික ක්‍රීඩා සහ නිර්මාණශීලිත්වයට දිරිමත් කරන්න.



ක්‍රීඩා කාලය 'හුදෙක් සෙල්ලම් කිරීම' නෙවෙයි. ඒක තමයි දරුවන්ගේ විශ්වාසය ගොඩනංවන හොඳම විදිහ.

චිත්‍ර ඇඳීම, Building Blocks, එළිමහන් ක්‍රීඩා, සංගීතය හෝ නැටුම්

මේ ආකාරයෙන් දරුවන් සෙල්ලම මඟින් නිර්මාණශීලිත්වය ඉගෙන ගන්නවා. මෙලෙස දරුවන් නිර්මාණය කරන විට, පරිකල්පනය කරන විට සහ චලනය වන විට, ඔවුන්ට දැනෙනවා ඔවුන් ගොඩක් ශක්තිමත් බව. 


06. සන්සුන්ව ගැටළු විසඳීමට දරුවන්ට උගන්වන්න



දරුවන් වෙනුවෙන් සියල්ල විසඳනවා වෙනුවට, ඔවුන්ට මඟ පෙන්වන්න.

'අපි එකතු වෙලා හිතමු... අපිට මේකට කරන්න පුළුවන් මොනවද කියලා?'
'මොකද්ද අපි මුලින්ම කරන්නේ, අපේ පළමු පියවර කුමක්ද?'

මෙය දරුවෙක් තුළ ගැටළු විසඳීමේ විශ්වාසය ගොඩනඟයි. මතක තියා ගන්න එය සදහටම පවතින ජීවන කුසලතාවයක්.


07. ඔවුන්ගේ ආරක්ෂිත ස්ථානය ඔබ වන්න.



දරුවන්ගේ ආත්ම විශ්වාසය දියුණු කිරීම වෙනුවෙන් මේ කරුණ ඉතා වැදගත්. දරුවන් තුළ විශ්වාසය ගොඩනැගිය යුතුයි.

'මොන දේ වුණත්, අම්මා / තාත්තා මාත් එක්ක ඉන්නවා.' යන්න ඔවුන්ට දැනෙන්න ඕනේ.

මේ නිසා දරුවන් වෙනුවෙන් දිනපතා ආදරය පෙන්වන්න, ඔවුන් වැළඳ ගන්න, ඔවුන්ට සවන් දෙන්න.

'විශේෂ කාලයක්” විනාඩි 10-15ක් දරුවන් සමඟම ගත කරන්න.

දරුවන් අසාර්ථක වූ විට පවා ඔවුන්ට සහාය වන්න. ඔබ දරුවන් කෙරේ දක්වන ආදරයේ වෙනසක් නොවන බව, ස්ථාවර බව දැනෙන විට දරුවන්ගේ විශ්වාසය වැඩි වෙනවා. 


අවසාන අදහස

විශ්වාසය එක දවසකින් ගොඩනැගෙන්නේ නැහැ. එය කුඩා පුරුදු, කුඩා ජයග්‍රහණ සහ ආදරය සමඟ සෙමින් වර්ධනය වන දෙයක්.

දෙමාපියන් මෙම පුරුදු 7 දිනපතා පුරුදු කරන විට, දරුවන් තමන්ව විශ්වාස කිරීමට පටන් ගන්නවා. 

'මම දක්ෂයි. මට ආදරය ලැබෙනවා. මට ඕනෑම දෙයක් කළ හැකියි.' බව දරුවන් හිතනවා. ඔවුන් එහෙම හිතනවා කියන්නෙම ඔවුන් ජීවිතයේ ඕනෑම අභියෝගයකට, මොහොතකට මුහුණ දිය හැකි තරම් ඔවුන් ශක්තිමත් වෙනවා.

-සජීව ද සිල්වා-


(colombotimes.lk)