19 February 2026

logo

ප්‍රේමණීය අයිතිකාරී මා - මනීෂා විතානවසම්ගේ නව ගීතය එළිදැක්වෙයි



ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ නැගී එන ගායිකාවක් වන මනීෂා විතානවසම් විසින් ගායනා කරන 'ප්‍රේමණීය අයිතිකාරී මා' ගීතයේ නිල සංගීත වීඩියෝව මේ වන විට එළිදක්වා තිබෙනවා.
 
මෙම ගීතයේ සංගීතය හා තනු නිර්මාණය ප්‍රසිද්ධ සංගීත නිෂ්පාදක තිළිණ රුහුණගේ විසින් සිදු කර ඇති අතර ගී පද රචනා කර ඇත්තේ රචිතා වාකිස්ට විසින්. 

'ප්‍රේමණීය අයිතිකාරී මා' ගීතය තුළින් ආදරයේ ගැඹුරු හැඟීම්, එකිනෙකාට වූ කැපවීම සහ නිමක් නැති සෙනෙහස සංගීතමය අයුරින් ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මනීෂා විතානවසම්ගේ මෘදු හඬ සහ තිළිණ රුහුණගේ නිර්මාණශීලී සංගීතය ගීතයට විශේෂ ආකර්ෂණයක් එක්කරයි.

එමෙන්ම මෙම ගීතයට මල්ෂිකා කොඩිකාර සහ කාංචන වික්‍රමසිංහ රංගනයෙන් දායක වී සිටිනවා. 

'ප්‍රේමණීය අයිතිකාරී මා' ගීතය ඉදිරියේදී Spotify, Apple Music/iTunes, Deezer ඇතුළු ප්‍රමුඛ ඩිජිටල් සංගීත වේදිකාවන් ඔස්සේ ප්‍රවේශය සඳහා නිකුත් කිරීමට නියමිතයි. 


කලා ජීවිතයට අමතරව අධ්‍යාපනික ජයග්‍රහණ

මනීෂා විතානවසම් සිය අධ්‍යාපන ගමන් මඟ කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන් අවසන් කර ඇති අතර, ජාතික තරුණ සේවා සභාවේ ගායනය හා වාදනය සඳහා ලලිත කලා ඩිප්ලෝමාව හදාරා තිබෙනවා. එමෙන්ම ඇය Sri Lanka Broadcasting Corporation හී B ශ්‍රේණියේ ගායිකාවක් ලෙස හඬ පරීක්ෂණය සමත් වී තිබීම ද විශේෂත්වයක්. 

එතැනින් නොනැවතුණු ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍ය උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාවක් ද හදාරා තිබෙනවා. 

මේ වන විටත් පියානෝ වාදනය හැදෑරීම සිදු කරන ඇය ජාත්‍යන්තර පාසලක ප්‍රාථමික අංශයේ ගුරුවරියක් ලෙස සේවය කරමින් කලා හා අධ්‍යාපන යන ක්ෂේත්‍ර දිවිත්වයම සමබරව ඉදිරියට ගෙනයන නව පරපුරේ කලාකාරිනියක් ලෙස සැලකේ.

'ප්‍රේමණීය අයිතිකාරී මා' ගීතයේ නිල සංගීත වීඩියෝව පහතින්,





(colombotimes.lk)