colombotimes.lk
සිංහල | English

28 June 2024

Travel Times | ලොව පුරා ජනප්‍රිය අතීත වෙළඳ නගරය



ගාල්ල කියන්නේ ලෝක උරුම නගරයක්. වර්ග සැතපුම් හයහමාරක විතර භූමි භාගයක් පුරා පැතිරී තියෙන ගාල්ල පුරාණයේ ඉදලා ප‍්‍රසිද්ධ වුණේ වෙළෙඳ නගරයක් විදියට. ඉන්දියන් සාගරයේ වරාය අතර විශේෂ පිහිටීමක් ඇති ගාලූ වරාය පෙරදිග දියුණු වෙළෙඳ මධ්‍යස්ථානයක් වුණා.
අතීතයේ වරායට පැමිණෙන භාණ්ඩ ගෙන ආ ගැල් ගාල් කර තිබූ ස්ථානය ගාල, ගාල් වී පසුව ගාල්ල වීයැයි ඇතැමෙක් කියනවා. තවත් පිරිසකගේ මතය වෙන්නේ පර්වත බහුලව තිබූ ප‍්‍රදේශයක් බැවින් ගල් ගාල්ල වූ බවයි.
කවුරු කොහොම කිව්වත් ගාල්ල කියන්නේ ලොව පුරා ජනප්‍රිය වුනු අතීත වෙළඳ නගරයක්.

Review of Galle Fort | Galle, Sri Lanka - AFAR

ගාලු කොටුවට යන්නේ කොහොමද ?

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ තමයි ගාලු කොටුව පිහිටලා තියෙන්නේ. කොළඹ ඉදලා බැලුවොත් ගාලු කොටුවට තියෙන්නේ හරියටම 146 km ක දුරක් විතරයි. ඔයා ගාලු කොටුව පැත්තේ එනවා නම් හොඳම විදිහ තමයි බස් එකේ එන එක. මොකද ඔයාට තියෙන්නේ කොළඹින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ලට යන බස් එකක නගින්න විතරයි. ගාලු බස් නැවතුම්පල ළගම තමයි ගාලු කොටුව තියෙන්නේ.
ඒත් ඔයා කැමති කෝච්චියේ යන්න නම් කොටුව ස්ටේෂන් එකෙන් ගාල්ලට යන කෝච්චියක නැගලා ගාල්ලෙන් බහින්න. බැස්ස ගමන් ඔයාට ගාලු කොටුව බලාගන්න පුළුවන්.

Galle travel - Lonely Planet | Sri Lanka, Asia

ගාලු කොටුවේ සුන්දරත්වය

1588 දී පෘතුගීසින් විසින් සාදන ලද ගාලු කොටුව 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියනවා.
පෘතුගීසීන් විසින් සාදන ලද බළකොටුව අද හැඳින්වෙන්නේ කළු කොටුව නමින්.
දිය අගලක් මත වූ උස් පහත් කළ හැකි පාලමකින් එගොඩවී ඇතුළුවීමට තිබූ ප‍්‍රධාන දොරටුව අදටත් කොටු පවුරේ දකින්න පුළුවන්. ඒ කාලයේ භාවිතා කළ දොර පියන් දෙක අදත් භාවිතයේ පවතිනවා. එම දොරටුවේ ඇතුළු පැත්තේ ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ ලාංඡනය සටහන් කර ඇති අතර දොරටුව ඉදිරිපස බ්‍රිතාන්‍ය රාජකීය ලාංඡනය කොටලා තියෙනවා.

ගාලු කොටුවේ ඇති උසම ගොඩනැගිල්ල වන්නේ අමාන් ගාල්ල නැමැති හෝටලයයි. මෑතක් වනතුරුම නිව් ඔරියන්ටල් හෝටලය නමින් තමයි එය හැඳින්වූයේ.
ඒ වගේම ආසියාවේ පැරණිතම පුස්තකාලය ලෙස සැළකෙන කොටුව පුස්තකාලයත් තවත් සුවිශේෂී ස්ථාන විදියට අපිට හදුන්වන්න පුළුවන්.

පැරණි ඕලන්ද පල්ලියත්, ඇංග්ලිකන් දේවස්ථානයත් මුස්ලිම් පල්ලියක් හා බෞද්ධ විහාරස්ථානයක්ද අපිට ගාලු කොටුවේ දැකගන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද ප‍්‍රථම ප‍්‍රදීපාගාරය ඉංග්‍රීසීන් විසින් ස්ථාපිත කර ඇත්තේ 1886 දී ගාල්ල බලකොටුවේ. ලෝහයෙන් තනා තිබූ එය 1936 දී ගින්නකින් විනාශ වී ගියා. වෙනත් ස්ථානයක නැවත ප‍්‍රදීපාගාරය ඉදිකර ඇත්තේ 1937 දී වන අතර පැරණි ප‍්‍රදීපාගාරය අසළින් තිබූ මාර්ගය අදටද ප‍්‍රදීපාගාර වීදිය විදියට තමයි භාවිතා කරන්නේ.

ගාලූ කොටුවට අලංකාරයක් වූනු ඔරලෝසු කණුව ඉදිකරලා තියෙන්නේ ප‍්‍රකට සමාජ සේවකයකු වගේම ගාල්ල නගර සභාවේ ප‍්‍රථම සභිකයා වුනු පීටර් ඩැනියෙල් අන්තෝනිස් මහතා සිහිවීම පිණිස 1983 දී මහජන ආධාරයෙනි.

Main Gate | Attractions in Galle | Love Sri Lanka

ගාළු කොටුවේ ඇති කෞතුකාගාර

ගාළු කොටුව තුල, ගාලු ප්‍රදේශයේ ප්‍රධාන කෞතුකාගාර තුනම පිහිටා ඇති බව බොහෝ අය නොදන්නා කාරණයකි. මේ කෞතුකාගාර තුන නම්;

1] ජාතික සමුද්‍ර කෞතුකාගාරය - ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් පාලනය කරයි
2] සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය - මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය කරයි
3] ගාල්ල ජාතික කෞතුකාගාරය - ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් පාලනය කරයි

ඒ වගේම හවස් වෙලාවක ගාලු කොටුව උඩට නැග්ගම මුලු ගාලු ටවුන් එකම ලස්සනට බලන්න ඔයාලට පුලුවන්. එක පැත්තකින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පිටි පස්සේන් ගාලු වරායත් එක්කම නැව් යන හැටි, තව පැත්තකින් ගාලු බස් ස්ටේශන් එක, අනිත් පැත්තෙන් ගාලු ට්‍රේන් ස්ටේශන් එක, මේ වගේ එකම තැනක ඉඳල ගමනාගමන මාර්ග 3ම ලස්සනට බලන්න පුලුවන්.

A walk around Sri Lanka

Special Note

ඔයාට කැමති වෙලාවක පවුලේ අයත් එක්ක යාළුවොත් එක්ක ගිහින් ගාලු කොටුවේ සිරි නරඹලා එන්න පුළුවන්.
ගාලුකොටුව කියන්නේ ලංකාවේ සංචාරක ආකර්ෂණය වැඩිම ස්ථානයක් නිසා ඔයාට කෑම බිම නම් ගෙදරින් අරගෙන යන්න ඕනේ වෙන්නේ නෑ. බලන ඕනෑම තැනක රසවත් කෑම තියෙන එක එක විදියේ කඩ දැකගන්න පුළුවන්.
ගාලු කොටුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන ප්‍රදේශයක්. එය ශ්‍රී ලංකාවට ඇති වාස්තුවිද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක දායාදයක්. එම නිසා මෙම ආකර්ෂණීය සංචාරක කලාපය රැක ගැනීම මගෙත් ඔබෙත් යුතුකමක්.

(Dinithi Thilakarathne @ COLOMBO TIMES)