බදුල්ල – කොළඹ ප්රධාන මාර්ගයේ උඩුවර 7කණුව ප්රදේශයේ දී විශාල පස්කන්දක් කඩා වැටීමෙන් අවහිර වූ මාර්ගය තවමත් පවතින අනතුරුදායක තත්ත්වය හේතුවෙන් රථ වාහන ධාවනය සඳහා විවෘත නොකරන බව බදුල්ල දිස්ත්රික් ලේකම් ප්රභාත් අබේවර්ධන මහතා දැනුම්දෙනවා.
එම නිසා පහත හඳුන්වා දී ඇති විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි ඔහු රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
ඒ අනුව බදුල්ල, හාලිඇළ, ඇටම්පිටිය, මිරහවත්ත, බණ්ඩාරවෙල මාර්ගය සහ බදුල්ල ස්ප්රීංවැලි හරහා දෙමෝදර මාර්ගය භාවිත කළ හැකියි.
එමෙන්ම දිස්ත්රික්කයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මෙම මාර්ග භාවිත කිරීමේදී ආරක්ෂිතව, කල්පනාකාරීව දැඩි විමසිල්ලෙන් ප්රවේශමෙන් රිය පදවන ලෙසට රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
උඩුවර 7කණුව ප්රදේශයේ මාර්ගයට කඩා වැටී තිබූ විශාල පස් කන්දක් දින තුනක් තිස්සේ මාර්ග සංවර්ධන අධිකාරිය බැකෝ යන්ත්ර යොදා ගනිමින් මහත් වෙහෙසක් දරා ඉවත් කළ බවත්, පසුව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරුන්, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් විසින් එම ස්ථානයේ මාර්ගය පරීක්ෂා කිරීමේදී මාර්ගය ගිලාබැස කැඩී අනතුරුදායක තත්ත්වයේ පවතින බවට හඳුනා ගත් බවත් ඔහු පැවසුවා.
මෙම මාර්ගය පිළිසකර කිරීමට ආරක්ෂිත පියවර රැසක් ගත යුතු හෙයින් මාර්ගය පිළිසකර කිරීමට කාලයක් ගත වෙන බවට ඔවුන් දැනුම් දුන් බවයි දිස්ත්රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
(colombotimes.lk)