දිනකට මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් ගැන භයානක හෙළිදරව්වක්



පසුගිය දින තුන තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,000ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන තිබෙනවා. 

ඒ අනුව ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව පෙන්නුම් කරමින්, දිනකට රෝගීන් 300ක් පමණ වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ. 
 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ (NDCU) අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා කියා සිටියේ දිනකට සාමාන්‍යයෙන් රෝගීන් 250ක් වාර්තා වන තත්ත්වයට රට නැවතත් පැමිණ ඇති බවයි. 
 
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි අධ්‍යක්ෂවරයා පවසන්නේ. 
 
එබැවින් ඩෙංගු රෝගයෙන් මිදීම සඳහා තම අවට පරිසරය පිරිසිඳුව තබා ගෙන මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 
 
දෙසැම්බර් 04 වැනිදා වන විට 2023 වසරේ මුළු රෝගීන් 77,487ක් වාර්තා වී ඇති අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාව 16,363ක් වූ ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. 
 
මීට අමතරව, බස්නාහිර පළාතෙන් රෝගීන් 36,266 ක් වාර්තා වී ඇති අතර එය පළාත අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාව වනවා. 
 
එය මුළු රෝගීන්ගෙන් සියයට 47 කට වඩා නියෝජනය කරන බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවා.
(colombotimes.lk)