වන අලි ගම්වැදීම හේතුවෙන් දෛනිකව පීඩාවට පත් වන පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරිගැන්වීමක් ලෙස මූල්‍යාධාරයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින්.
ඒ අනුව වන අලි ගම්වැදීම හේතුවෙන් ජීවිත හානි වූ සහ තුවාල ලැබූ පුද්ගලයෙක් අයත් පවුල් සඳහා මෙහිදී ප්‍රමුඛතාව හිමි වන බවයි වාර්තා වන්නේ.
ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිරීක්ෂණය අනුව ආධාරයක් ලැබීමට සුදුසු පවුල් ඒකකයක් විය යුතු අතර 1ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා හෝ උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන දරුවන් සිටින පවුලක් වීම මෙම මූල්‍යාධාරය ලබා ගැනීමට සුදුසුකමක් ලෙස සැලකෙනවා.
එමෙන්ම මෙම මූල්‍යාධාරය ලබා ගැනීමට පසුගිය ජනවාරි පළමුවනදා හෝ එම දිනෙන් පසු දිනකදී වන අලි ගම්වැදීම හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් ඒකකයක් විය යුතුයි.
දැනටමත් ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කර ඇති අ.පො.ස උසස් පෙළ ශිෂ්‍යත්ව වැඩසටහනෙහි ප්‍රතිලාභී දරුවෙක් නොවීමද මීට සුදුසුකමක් වනවා.
මෙම වැඩසටහන මඟින් 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන තෝරා ගත් දරුවෙක් සඳහා මාසිකව රුපියල් 3,000ක් බැගින් උපරිම මාස 12ක කාල සීමාවක් සඳහාද, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන තෝරා ගත් දරුවෙක් සඳහා රුපියල් 5,000ක් බැගින් උපරිම මාස 12ක කාල සීමාවක් සඳහාද ආදී වශයෙන් අද (01) සිට මෙම මූල්‍යාධාරය ලබාදීමට අපේක්ෂා කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)