18 May 2025


ONMAX DT නිසා බැංකු ගිණුම් අත්හිට වූ අධ්‍යක්ෂ මණ්ඩලයේ 06 දෙනාගේ නම් එළියට



‘ONMAX DT’ පෞද්ගලික ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයින් හය දෙනෙකුගේ බැංකු ගිණුම් අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. 

ඒ ONMAX DT පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් වන සම්පත් සඳරුවන්, අතුල ඉන්දික සම්පත්, ගයාෂාන් අබේරත්න, මධුරංග ප්‍රසන්න, සාරංග රන්දික හා ධනංජය ගයාන් යන අයගේ බැංකු ගිණුම් වනවා. 
 
ඇස්තමේන්තු කර ඇති පරිදි මෙම ගිණුම්වල මුළු තැන්පතු රුපියල් කෝටි 79ක්. 
 
මීට අමතරව සමාගමට සම්බන්ධ ගිණුම් 95ක් අධිකරණය විසින් අත්හිටුවා තිබෙනවා. 
 
මොවුන් විසින් වංචා කර ඇති මුදල කොතෙක් ද යන්න මෙතෙක් සඳහන් කළ නොහැකි බවත්, අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් හයදෙනාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් කෝටි 79 මෙන් විසි ගුණයක් පමණ ඔවුන් උපයාගෙන ඇති බවට සැක කරන බවත් විමර්ශන නිලධාරීන් පවසනවා. 
 
අදාළ සමාගමේ ආයෝජන ලෝකයේ විවිධ රටවල ඇති බවට සමාගම සඳහන් කළ ද මෙතෙක් ඒ පිළිබඳව කිසිඳු සාක්ෂියකින් තහවුරු කිරීමට ඔවුන්ට හැකි වී නැති බවයි විමර්ශකයින් පෙන්වා දෙන්නේ. 
 
මේ අතර මෙම පිරමීඩ ජාවාරමට හසු වූ පුද්ගලයන් මෙතෙක් ඒ පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කර නොමැති අතර, විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටින්නේ මෙම වංචාවට හසු වූයේනම් වහාම ළඟම ඇති පොලීසියට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසයි.
(colombotimes.lk)