25 October 2025

logo

භාවිතයෙන් ඉවත් කළ යුධ හමුදා වාහන 76ක් යළි සේවයට



යුද්ධ හමුදාව විසින් දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්කර තිබූ වාහන 76ක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ උපදෙස් පරිදි නවීකරණය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් කටයුතු කර තිබෙනවා. 

එම රථවාහන ඊයේ (24) සිට නැවත යුද්ධ හමුදාවේ භාවිතයට යොදාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙම වාහන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් යටතේ නවීකරණය කර තිබෙනවා.

එමෙන්ම මෙම වාහන නැවත යුද්ධ හමුදාවේ සේවය සඳහා එක් කිරීමට හැකිවීම තුළින් යුද්ධ හමුදාව සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
මෙම වාහන නැවත භාවිතයට යෙදවීම හරහා යුද්ධ හමුදාව විසින් කුලී ගෙවීමේ පදනම මත ලබා ගන්නා ලද වාහන සඳහා මාසිකව වැය කරන රුපියල් මිලියන 10ක පමණ මුදල් ප්‍රමාණයක් රජයට ඉතිරි කරදීමට හැකි වී තිබෙනවා. 

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ට්‍රක් රථ, බස් රථ, වතුර බවුසර්, යුනි බෆල් රථ, කැබ් රථ, ගිලන් රථ, වෑන් රථ, ගලි බවුසර් ඇතුළු වාහන 76ක් මෙලෙස නවීකරණය කර යළි සේවයට එක් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)