22 November 2024


සැප්තැම්බර් මාසයේ විදේශ ප්‍රේෂණවල වෙනසක්



අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය සුළු වශයෙන් අඩුවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
 
මහ බැංකුව සඳහන් කළේ අගෝස්තු මාසයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 577ට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 556 දක්වා අඩු වී ඇති බවයි.
 
කෙසේවෙතත් 2023 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 සැප්තැම්බර් මාසයේ විදෙස් ශ්‍රමික ප්‍රේෂණවල ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ මේ වසරේ මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා අඛණ්ඩව විදේශ සේවා නියුක්තිකයන්ගේ මාසික ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 500 ඉක්මවා ඇති බවයි.
 
මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 181 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ කාලය තුළ සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2,348ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.

(colombotimes.lk)