22 November 2024


මහ කන්නයේ පොහොර සහනාධාරය ලබාදීමේ කටයුතු අරඹයි



2024 මහ කන්නය සඳහා ලබා දෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ. පී. රෝහණ රාජපක්ෂ පවසනවා.

ඔහු කියා සිටියේ එහි ප්‍රථම අදියර යටතේ ගොවීන්ට රුපියල් 15,000 බැගින් ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

එහි මුල් අදියර යටතේ අම්පාර සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ගොවීන් 670 නියෝජනය කරමින් හෙක්ටයාර් 630ක් සඳහා රුපියල් මිලියන 9.5ක් නිකුත් කර තිබෙනවා.

එහි දෙවන අදියරේදී රුපියල් මිලයන 46.5ක් දිස්ත්‍රික්ක 12ක ගොවීන් 4,475ක් වෙනුවෙන් ද නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

තුන්වන අදියරේදී රුපියල් මිලියන 57.5ක් දිස්ත්‍රික්ක 12ක ගොවීන් 4,219කටද සිව්වන අදියරේදී රුපියල් මිලියන 47.7ක් දිස්ත්‍රික්ක 12ක ගොවීන් 4,804ක් වෙනුවෙන් ද නිකුත් කර තිබෙනවා.

එමෙන්ම ඔහු සඳහන් කළේ අද (04) භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 279.4ක මුදලක් ලැබුණු බවත් එය ගොවීන් 22,419ක් නියෝජනය කරමින් දිස්ත්‍රික්ක 19කට බෙදාදීමට නියමිතව ඇති බවයි.

ඒ අනුව සමස්තය ලෙස රුපියල් මිලියන 441.8ක් ගොවීන් වෙනුවෙන් බෙදා දී තිබෙනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙහි දෙවන අදියර ලෙස ලබාදෙන රුපියල් 10,000ක මුදල වගා කටයුතු ආරම්භ කිරීමෙන් පසු සති දෙකකින් ලබාදීමට පියවර ගන්නා බවයි.

(colombotimes.lk)