22 November 2024


ශ්‍රී ලංකා විදේශ සේවයේ නොවන මහ කොමසාරිස්වරු සහ තානාපතිවරු 15ක් දිවයිනට කැඳවයි



විදේශ තානාපති සේවය සඳහා දේශපාලන හිතවත්කම් මත පත්කළ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 15 දෙනක්ට වහාම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන විසින් මේ බව දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් නුවර නිත්‍ය නියෝජිත ලෙස පත්වීම් ලද හිටපු අගවිනිසුරුවරයෙක් වන මොහාන් පීරිස්, බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් ලෙස පත්කළ හිටපු විදේශ අමාත්‍යවරයෙක් වන රෝහිත බෝගොල්ලාගම, ඉන්දියාවේ මහ කොමසාරිස් ලෙස පත්කළ හිටපු තානාපතිවරියක වන ෂෙනුකා සෙනෙවිරත්න, ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ලෙස පත්කළ චිත්‍රාංගනී වාගීෂ්වර, ජපානයේ තානාපති ලෙස පත්කළ රොඩ්නි පෙරේරා, මැලේසියාවේ මහ කොමසාරිස් ලෙස පත්කළ හිටපු ගුවන් හමුදාපතිවරයෙක් වන සුමංගල ඩයස්, නේපාලයේ තානාපති ලෙස පත්කළ හිටපු ගුවන් හමුදාපතිවරයෙක් වන සුදර්ශන පතිරණ, කියුබාවේ තානාපති ලෙස පත්කළ හිටපු නාවික හමුදාපතිවරයෙක් වන නිශාන්ත උලුගෙතැන්න, පාකිස්තානයේ මහ කොමසාරිස් ලෙස පත්කළ හිටපු නාවික හමුදාපතිවරයෙක් වන රවීන්ද්‍ර විජේගුණරත්න, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ලෙස පත්කළ උදය ඉන්ද්‍රරත්න, කෙන්යාවේ මහ කොමසාරිස් ලෙස පත්කළ වී. කනකනාදන්, ශීෂෙල්ස් මහ කොමසාරිස් ලෙස පත්කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සොහොයුරෙක් වන ෂිමාල් වික්‍රමසිංහ සහ ඉරාන තානාපති ලෙස පත්කළ මොහොමඩ් ෂාහිඩ් යන මහත්ම මහත්මීන්ට මෙලෙස වහාම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

ඔවුන්ගෙන් හිස්වන තානාපති ධූර සඳහා ඉදිරියේදී විදේශ සේවයේ නියුතු පුද්ගලයන් පත්කරන බවට විදේශ අමාත්‍ය විජිත හේරත් දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)