19 April 2025


කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නියුතු පිරිස් වෙත ජීවිත රක්ෂණයක්



මෙරට කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත වන කාර්මිකයන් සඳහා ජීවිත රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සඳහන් කළේ කර්මාන්තවල නියැලී සිටින කාර්මිකයන් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි පරිදි මෙම හදිසි අනතුරු ජීවිත රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවයි.

මෙම යෝජනා ක්‍රමය යටතේ රුපියල් 500,000, රුපියල් 1,000,000 සහ රුපියල් 2,000,000 යන රක්ෂිත ආවරණ මරණයකදී සහ පූර්ණ අකර්මණ්‍යතාවයකදී හිමිවන අතර තාවකාලික අකර්මණ්‍යතාවලදී මෙන්ම හදිසි අනතුරු මඟින් රෝහල්ගත වීමේදී මෙම රක්ෂණාවරණ ලබාදෙන බවද එම මණ්ඩලය සඳහන් කළා.

එමෙන්ම රක්ෂණ ආවරණය රුපියල් 2,000, 4,000, 8,000ක් වැනි සුළු වාර්ෂික වාරික මට්ටම් යටතේ මෙම රක්ෂණ හිමිකම සඳහා දායකවීමට අවස්ථාව සලසා දීමට කෘෂිකාර්මික හා ගොවිජන මණ්ඩලය සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)