11 May 2025


පියයුරු පිළිකා සඳහා පරීක්ෂණ අනිවාර්ය කරයි?



කාන්තාවන් වයස අවුරුදු 40 දී පියයුරු පිළිකා සඳහා සිදුකරන මැමෝග්‍රෑම් පරීක්‍ෂණ ලබා ගැනීම ආරම්භ කළ යුතු බව එක්සත් ජනපදයේ සෞඛ්‍ය අංශ පවසනවා.

මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙමින් එරට නිවාරණ සේවා කාර්ය සාධක බලකාය (USPSTF) කියා සිටියේ ජීවිත දහස් ගණනක් බේරා ගැනීමට මෙය උපකාරී වන බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් 2009දී ලබාදී තිබූ නිර්ණායක මේ වන විට වෙනස් කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා.

එම පැරණි නිර්ණායක අනුව වයස අවුරුදු 50දී මෙම පරීක්ෂණ කිරීම සිදුසු බව සඳහන් කර තිබුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වයස අවුරුදු 40දී පරීක්ෂණ සඳහා යොමු වීමෙන් ජීවිත බේරා ගැනීමට ඇති හැකියාව 19%කින් වැඩි වන බවයි.

එක්සත් ජනපද සෞඛ්‍ය වාර්තා වලට අනුව, පියයුරු පිළිකා යනු එරට දෙවෙනියට වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන පිළිකා වර්ගය වනවා.

මේ හේතුවෙන් එරට තුළ වසරකට කාන්තාවන් 42,000ක් සහ පිරිමි පුද්ගලයින් 500ක් පමණ මියයන බවද සඳහන්.

එමෙන්ම කළු හමක් ඇති කාන්තාවන් මියයාමේ ප්‍රතිශතය 40%ක් වන බවද එම දත්ත මඟින් පෙන්නුම් කර තිබෙනවා.
(colombotimes.lk)