දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් වූ මාවිල්ආරු ප්‍රධාන සොරොව්ව ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව යල කන්නයේ වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීම ඊයේ (30) සිදු කර තිබෙනවා.
කුඹුරු අක්කර 40,000ක පමණ ප්‍රමාණයක් මෙම මාවිල්ආරු ජලාශය මඟින් පෝෂණය වන බවයි වාර්තා වන්නේ.
සේරුවිල, වෙරුගල් සහ මූතූර් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03ට අයත් ගොවි පවුල් 10,000ක් පමණ සිය කෘෂිකාර්මික කටයුතු සඳහා මාවිල්ආරු ජලාශයෙන් ජලය ලබා ගැනීම සිදු කරනු ලබනවා.
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් විනාශ වූ ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සාර්ථකව සිදු කෙරෙමින් පවතින අතර එහි වැදගත් අදියරක් ලෙස එළඹෙන යල කන්නය ආරම්භවීමට ප්‍රථම ප්‍රධාන සොරොව්ව ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් නිම කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)
