12 May 2025


2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන ඉඟියක්



2023 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අවසන් දිනය ඔක්තෝම්බර් මස මුල් සතිය වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන බව වාර්තා වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසුවේ විභාගය පිළිබඳ අවසන් තීරණය ඔක්තෝබර් 02 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.

2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස උසස් පෙළ විභාග කල් දමන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පසුගිය සතියේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

විභාග පැවැත්වීමේ සංශෝධිත දිනයන් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍යවරයා එම අවස්ථාවේදී පැවසුවා.

2023 අ.පො.ස උසස් පෙළ විභාග නොවැම්බර් 27 සිට දෙසැම්බර් 2 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, සිසුන්ට විභාගයට සූදානම් වීමට කාලය ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම් මත විභාග කල් දැමුණා.
(colombotimes.lk)