06 September 2025

logo

ඇල්ලේ අනතුරට පත් බස් රථය ගැන අලුත් අනාවරණයක්



ඇල්ල වැල්ලවාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය 2023 වසරේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචියෙන් ඉවත් වූ බස් රථයක් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. 

ඔහු කියා සිටියේ විනෝද චාරිකා සඳහා පමණක් භාවිතා කරන  බස්රථ නියාමනය කිරීම සඳහා නීති සම්පාදනය කර නොමැති බවයි. 

අදාළ මාර්ගයේ අනතුරු අවම කරගැනීම සඳහා ගත හැකි සියලුම පියවර මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ගෙන තිබෙන බවද වෛද්‍ය ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. 

මේ අතර අනතුරට පත් බස් රථය පරීක්ෂා කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඊට අමතරව ප්‍රවාහන වෛද්‍ය සභාවේ සහ මාර්ග අරක්ෂාව පිළිබඳව වැඩසටහනට අනුයුක්ත ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරීන් කණ්ඩායමක්ද අද (06) අනතුරට පත් බස් රථය පරීක්ෂා කිරීම සඳහා ඇල්ල ප්‍රදේශයට යන බව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියා සිටියා.

(colombotimes.lk)