ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර හමුක් අද (16) පැවැත්වෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එහිදී දෙරටට වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.
මේ අතර ජනාධිපතිවරයා ඊයේ (15) පස්වරුවේ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් යන පුද්ගලයන්වද හමුවී තිබෙනවා.
ඒ ජනාධිපතිවරයා නවාතැන් ගෙන සිටින හෝටලයේදීයි.
ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම, දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන් අතර පැවති හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා.
එමෙන්ම ඊට අමතරව ඉන්දියානු සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම, ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳවද එහිදී සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය ඇති කිරීම සඳහා ඉන්දියාවේ දැවැන්ත වෙළෙඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳව එහිදී අවධානයට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙරට සංචාරක, ආයෝජනය සහ බලශක්ති ක්ෂේත්‍ර සඳහා සහය දැක්වීමට ඉන්දියානු රජය එකඟතාවය පළ කරන බව එහිදී ආචාර්ය එස්. ජයිශංකර් කියා සිටි බවයි.
එමෙන්ම ධීවර කර්මාන්තය සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම ඇතුළු විවිධ ක්ෂේත්‍ර පිළිබඳවද එම සාකච්ඡාවේදී අවධානය යොමුකර තිබෙනවා.
(colombotimes.lk)