30 January 2025


සරත් ෆොන්සේකාට බෝම්බ ගැසීමේ නඩුව කැඳවයි



හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ 'දුර්ගා' නැමති මරාගෙන මැරෙන බෝම්බකාරියට ආධාර අනුබල දුන් බවට චෝදනා ලබා සිටින LTTE සැකකරුවන් තිදෙනෙක්ට එරෙහි නඩුව ඊයේ (28) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබෙනවා.

සෙල්වරාසා කිරුභාකරන් හෙවත් මොරිස්, තම්බයියා ප්‍රකාශ් හෙවත් ධනුෂ් සහ ශන්මුගලිංගම් සූරිය කුමාර් යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මාලී කරුණානායකගේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කරගැනීම සිදුවුණු අතර පසුව නඩුව වැඩිදුර විභාගය සඳහා අද (29) දිනය තෙක් කල්තබා තිබෙනවා.

2006 වසරේ කොළඹ යුද හමුදා මූලස්ථානය තුළදී එවක හමුදාපති සරත් ෆොන්සේකා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහුට බරපතළ තුවාල සිදු කිරීම සහ ඔහුගේ ආරක්ෂකයන් 03 දෙනෙක් මරා දැමීමට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)