12 December 2024


නාම යෝජනා අවලංගු කිරීම සඳහා වන නීති සංශෝධන ක්‍රියාවලිය ඇරඹෙයි



පසුගිය පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම සඳහා වන නීති සංශෝධන ක්‍රියාවලිය ආරම්භ කළ බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
 
අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න ප්‍රකාශ කළේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව හරහා එම කටයුතු සිදු වන බවයි.

පක්ෂ නායකයන්ගේ එකඟතාව මත පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.

ඒ අනුව පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධන ගෙන ඒමට නියමිතයි.

එමෙන්ම අදාළ සංශෝධන නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් පසු ඉදිරි සති කිහිපයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ 2022 වසරෙන් පසු අලුතින් එක්වූ ඡන්ද දායකයන් ලක්ෂ 10ක් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසාදීම නාම යෝජනා අවලංගු කිරීමේ ප්‍රධාන අරමුණක් බවයි.

(colombotimes.lk)