18 January 2025


වවුනියාව බන්ධනාගාරය හදිසියේම වැසෙයි



වවුනියාව බන්ධනාගාරය සති දෙකක කාලයක් තාවකාලිකව වසා දමා තිබෙනවා. 

ඒ බන්ධනාගාර රැදවියන් අතර ශිඝ්‍රයෙන් ව්‍යාප්ත වන බෝවන රෝගී තත්වයක් හේතුවෙන්. 
 
පසුගිය (27) සිට රැදවියන් හමුවීම ඇතුළු බන්ධනාගාර රැදවියන්ගේ ක්‍රියාකාරකම් සඳහා සීමා පනවා තිබූ අතර රෝගී රැදවියන් වැඩිවශයෙන් වාර්තාවීමත් සමඟ ඊයේ (31) සිට වසාදැමීම සඳහා පියවරගත් බවයි වාර්තා වන්නේ. 
 
එමෙන්ම රැදවියන් නඩු කටයුතු වෙනුවෙන් අධිකරණයන් වෙත රැගෙන යාමද තාවකාලිකව නවතා දමා තිබෙනවා. 
 
Zoom තාක්ෂණය ඔස්සේ නඩු විභාගවලට සාක්ෂි ලබාදීම් ඇතුළු නඩුකටයුතු සිදුකරන අතර අනෙකුත් නඩු සඳහා වෙනත් දින ලබාගැනීම සිදුකරන බවත් අධිකරණයන් හි බන්ධනාගාරගතකරන පුද්ගලයින් අනුරාධපුර බන්ධනාගාරයට යැවීමට ක්‍රියාකරන බවත් සඳහන්. 
 
රැඳවියන් අතර පැතිර යන සරම්ප වැනි බෝවන රෝගී තත්වයක් හේතුවෙන් එම රෝගී තත්වය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අදාළ තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ. 
 
වවුනියාව බන්ධනාගාරයේ රැදවියන් 400 අධික ප්‍රමාණයක් රඳවා සිටින අතර නිලධාරීන් 85 ක ප්‍රමාණයක් සේවය කරනවා.
(colombotimes.lk)