15 June 2026

logo

කොදෙව් දේශයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයිද?



ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (07) අලුයම පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්‍රිකට් තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකිව අතහැර දැමීමට සිදුවී තිබෙනවා.

​දෙරට අතර පැවැති පළමු එක්දින තරගය ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ලෙස ලකුණු 41කින් ජයග්‍රහණය කළා.

ඒ අනුව අද පැවැත්වීමට තිබූ තරගය ඔවුන් ජයග්‍රහණය කළේ නම් වසර 23කට පසු කොදෙව් රාජ්‍යයේදී කොදෙව්වන්ට එරෙහිව එක්දින තරගාවලි ජයක් සනිටුහන් කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට කොදෙව් රාජ්‍යයේදී කොදෙව්වන්ට එරෙහිව එක්දින තරගාවලියක් ජයග්‍රහණය කර තිබෙන්නේ මීට වසර 23කට පෙරයි.

ඒ අනුව 2003 වසරේදී මාවන් අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3කින් යුත් තරගාවලිය 2 - 1ක් ලෙස ජයග්‍රහණය කරමින් එම ඉතිහාසය ලියා තිබුණා.

​කෙසේ වෙතත් පළමු තරගය ජයග්‍රහණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එම බලාපොරොත්තුව තවදුරටත් රඳවා ගෙන සිටිනවා.

දෙරට අතර පැවැත්වෙන තීරණාත්මක තෙවන සහ අවසන් එක්දින තරගය එළඹෙන 09වනදා අලුයම 1.00ට ආරම්භ වීමට නියමිතයි.

​එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් 2003න් පසු කොදෙව් රාජ්‍යයේදීම කොදෙව්වන් පරදා එක්දින තරගාවලි ජයක් ලැබීමේ එම 23 වසරක ඓතිහාසික සිහිනය සැබෑ කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව පවතිනවා.

(colombotimes.lk)