02 August 2025

logo

ශ්‍රී ලාංකික සිසුන්ට හංගේරියාවේ හිමි වන උපාධි ශිෂ්‍යත්ව ගැන සුබ පණිවුඩයක්



හංගේරියාවේ විදේශ කටයුතු හා වෙළෙඳ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට සැලසුම් කර තිබෙනවා.

ඒ දැනුම මූලික සමාජයක් බිහි කරලීම තුළින් දෙරටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි අන්‍යෝන්‍ය සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්.

2022-2024 කාල සීමාවට අදාළව එළඹුණු අවබෝධතා ගිවිසුමේ දිගුවක් වන මෙම ගිවිසුම හරහා ශ්‍රී ලාංකීය සිසුන්ට ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව අවස්ථා සැලසෙන බවයි වාර්තා වන්නේ.

ගිවිසුමේ සෘජු ප්‍රතිලාභ ලෙස ශ්‍රී ලාංකීය සිසුන් සඳහා විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය, වෛද්‍ය විද්‍යාව, සෞඛ්‍ය විද්‍යාව සහ කෘෂිකර්මය ආදී ක්ෂේත්‍රයන් යටතේ ප්‍රථම උපාධි අවස්ථා 08ක්, පශ්චාත් උපාධි අවස්ථා 08 ක් සහ ආචාර්ය උපාධි අවස්ථා 04ක් ලෙස ශිෂ්‍යත්ව අවස්ථාවන් 20ක් Stipendium Hungaricum ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ වාර්ෂිකව හිමි වනවා.

යෝජිත අවබෝධතා ගිවිසුම 2025-2027 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව හංගේරියාවේ විදේශ කටයුතු හා වෙළෙඳ අමාත්‍යාංශය සමඟ යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම වෙනුවෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

(colombotimes.lk)